ගම්පහ වෙඩි තැබීමේ සිද්ධියේ නවතම තතු

ගම්පහ වෙඩි තැබීමේ සිද්ධියේ නවතම තතු

ගම්පහ, මාකෙවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ සැකකරු සන්තකයේ තිබී හෙරොයින්ද සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.

ඊයේ දහවල් ගම්පහ මාකෙවිට ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදු වුණා.

42 හැවිරිදි අයෙකු එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අතර අදාළ පුද්ගලයා සිය දරුවා පාසලෙන් රැගෙන යාම සඳහා සිය බිරිඳ සමඟින් ගමන් කරමින් සිටියදී එම වෙඩි ප්‍රහාරයට ලක් වුණා.

වෙඩි ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයාට එරෙහිව 2018 වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති අතර ඔහු ඇප මත සිටින අයෙක් බවටයි පොලීසිය පැවසුවේ.

වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති අතර ගනේමුල්ල සංජීව නමැත්තාගේ පාර්ශ්වයෙන් වෙඩි තැබීම සිදු කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඊයේ සිදුවූ එම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් මාකෙවිට බටපොත මාර්ගයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

33 හැවිරිදි අදාළ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලි ග්‍රෑම් 120 ක් සොයා ගැනීමට හැකිවූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මේ අතර කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ඇලපාත පොලීසිය කටයුතු කර තිබෙනවා.

කහවත්ත ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු විසින් සොරකම් කළ බව කියන උපකරණ රැසක්ද සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.

බොරැලැස්ගමුව හා මිරිහාන ප්‍රදේශවල නිවාස තුළට ඇතුළු වී මුදල් සහ රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරා ගැනීමේ සිද්ධීන්ට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

වේරහැර රයිඩර් හෙවත් උක්කුවා නමැත්තා තවත් පුද්ගලයකු සමඟ එක්ව මෙම සොරකම් සිදු කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අදාළ සැකකරුවන් විසින් සොරකම් කළ බව කියන රුපියල් ලක්‍ෂ 30 ක් පමණ වටිනා රන් භාණ්ඩ හා ජංගම දුරකතන ඇතුළු විවිධ ආභරණ සොයා ගැනීමට පොලීසියට හැකි වුණා.

කොස්ගම පොලිස් වසමේ සිදුවූ සොරකම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතා තිබෙනවා.

මෙම පුද්ගලයින් විවිධ උපක්‍රම භාවිතකරමින් තනිව නිවාසවල වෙසෙන පුද්ගලයින් සමඟ මිත්‍රවී නිවාස කොල්ලකෑම්වල නිරත වන බවයි පොලීසිය පැවසුවේ.

ඊට අමතරව දහවල් කාලයේ කොස්ගම ප්‍රදේශයේ සැරිසරමින් නිවාසවල කිසිවෙකු නොමැති අවස්ථාවන්හි බඩු බාහිරාදිය සොරකම් කිරීමේ නිරත වන බවද කොස්ගම පොලීසිය කියා සිටියා.

මේ අතර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් තණමල්විල නිකවැව, දෙමෝදර ලදු කැලෑවක පවත්වාගෙන ගිය ගංජා වගාවක් වැටලීමට කටයුතු කර තිබෙනවා.

එහිදී ඇඹිලිපිටිය තෝරකොළයාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සොයා ගැනීමට හැකිවුණා.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකා සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන් මොණරාගල ප්‍රදේශයේදී ගංමුතු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් එම ගජමුතු අලෙවි කිරීම සඳහා සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

තංගල්ල කඳවුරේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හම්බෙගමුව, අරඹෙගම ප්‍රදේශයේ වන රොදක පවත්වාගෙන ගිය කන්සා වගාවක් සොයා ගැනීමට හම්බන්තොට 12 වැනි යුද හමුදා සේනාංකයේ සෙබලුන් කටයුතු කර තිබෙනවා.

එහිදී රුපියල් ලක්‍ෂ 80 ක් පමණ වටිනා කංසා වගාව විනාශ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

Share This