ගසක අත්තක් පාසල් සිසුවෙක් බිළිගනී
සිසුන් 16 දෙනෙකු ට තුවාල

ගසක අත්තක් පාසල් සිසුවෙක් බිළිගනී

බලංගොඩ ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීමෙන් පාසල් සිසුවෙක් මියගොස් තවත් සිසුන් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ අවදානම් තත්ත්වයේ තිබූ ගසක අත්තක් මෙලෙස කඩා වැටී ඇති බවයි.

බලංගොඩ රජවක විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

11, 12 හා 13 ශ්‍රේණි පන්ති කාමර පැවති ගොඩනැගිල්ලක් මතට එම ගසෙහි අත්ත කඩාවැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ සිසුන් බලංගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන් පස්දෙනෙකු සිසුවියන් වන අතර, ඉතිරි 11 දෙනා සිසුන් බවයි.

වසර ගණනාවක් තිස්සේ පාසල් පරිශ්‍රය තුළ අවධානම් තත්ත්වයේ ගස් පවතින බවට බලධාරීන් දැනුවත් කර තිබුණද එම ගස් ඉවත් කිරීමට කටයුතු නොකිරීම නිසා මෙවැනි ඛේදනීය අනතුරක් සිදු වූ බවට පාසල් සංවර්ධන සමිතියේ කමිටුව චෝදනා කරනවා.

Share This