ගාසා තීරය ආක්‍රමණයට ඊශ්‍රායල් තීරණයට ලොව පුරා දැඩි විරෝධතා ඉහළ යයි

ගාසා තීරය ආක්‍රමණයට ඊශ්‍රායල් තීරණයට ලොව පුරා දැඩි විරෝධතා ඉහළ යයි

ඊශ්‍රායලය විසින් ගාසා නගරය අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති කාලය මාස හයකට නොඅඩු කාලයක් අපේක්ෂා කරන බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් ඊශ්‍රායල රජයට අයත් කාන් ටීවී ප්‍රවෘත්ති ඊයේ වාර්තා කළා.

මෙම වාර්තාව නිකුත් වූයේ ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය මෙහෙයුම් සැලැස්ම අනුමත කිරීමෙන් දිනකට පසුවයි.

එම නාලිකාවට අනුව, සති දෙකක් ඇතුළත ගාසා නගරයේ සිට දකුණු ගාසා තීරයේ අල්-මවාසි “මානුෂීය කලාපයට” පදිංචිකරුවන් 800,000 කට අධික සංඛ්‍යාවක් ඉවත් කිරීමට හමුදාව සැලසුම් කර තිබෙනවා.

මාසයකින් පමණ, ගාසා නගරයේ දැඩි භූමි මෙහෙයුමක් සඳහා සූදානම් වෙමින්, දැනටමත් ගාසා තීරයේ යොදවා ඇති අංශ පහට සංචිත අංශයක් එක්වනු ඇති.

ප්‍රහාරය මානුෂීය ආධාර වැඩි කිරීමත් සමඟ සිදුවනු අතැයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළා.

ඊශ්‍රායලය ගාසා තීරයට ඇතුළු වන ආධාර ට්‍රක් රථ සංඛ්‍යාව දිනකට 1,200 දක්වා හතර ගුණයකින් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

ගැටුම උත්සන්න කිරීමේ තීරණය ඊශ්‍රායලය තුළ දැඩි විරෝධයකට මුහුණ දී විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හමුදා නිලධාරීන් සහ ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් ඇතුළුව, ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ද ඊශ්‍රායලයේ මෙම තීරණට එල්ල වන්නේ දැඩි විවේචනයක්.

මිලිටරි සැලැස්ම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බවත්, මානුෂීය අර්බුදය තවත් උග්‍ර කරන බවත්, සටන් විරාමයක් සඳහා වන උත්සාහයන් අඩපණ කරන බවත් විචාරකයින් තර්ක කරනවා.

මෙම තීරණය ඊශ්‍රායලය තුළ සහ විදේශයන්හි විරෝධතා ඇති කර තිබෙන අතර ඊයේ සවස, දහස් ගණනක් ටෙල් අවිව් හි “ප්‍රාණ ඇපකරුවන් චතුරශ්‍රයේ” රැස්ව ගැටුම අවසන් කිරීමට සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහතික කිරීමට ගිවිසුමක් ඉල්ලා සිටියා.

තුර්කියේ , දහස් ගණනක් බෙයාසිට් චතුරශ්‍රයේ පෙළ ගැසී, “මිනීමරු ඊශ්‍රායලය, පලස්තීනයෙන් ඉවත් වන්න” යනුවෙන් කෑ ගසමින් සහ ඊශ්‍රායලය ගාසා තීරය කුසගින්නේ සිටින බවට චෝදනා කරන බැනර් ඔසවාගෙන විරෝධතාවයේ නිරත වුණා.

තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් ද පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් සමඟ දුරකථනයෙන් කතා කරමින්, ගාසා තීරය පූර්ණ හමුදා පාලනයකට ගෙන ඒමේ ඊශ්‍රායලයේ සැලැස්ම “සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි” බව හෙළා දුටුවා.

පලස්තීනය සඳහා තුර්කියේ සහයෝගය එර්ඩෝගන් නැවත තහවුරු කළ අතර, පලස්තීන රාජ්‍යත්වය සඳහා වර්ධනය වන යුරෝපීය ඉල්ලීම් ද පිළිගෙන තිබෙනවා.

 

 

Share This