
ගෑස් උදුන් කොටස් ආනයනය කර හොරෙන් එකලස් කරන තැනක් ග්‍රෑන්ඩ්පාස් වලින් අල්ලයි
ආනයනික ලෙස සදහන් කරමින් මෙරට එකලස් කළ ප්‍රමිතිය තහවුරු නොකළ ගෑස් උදුන් තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබනවා.
පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ අදාල පුද්ගලයින් කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කර විදේශ රටක නිෂ්පාදිත ලෙස සඳහන් කරමින් මෙම ගැස් උඳුන් තොගය වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් මත එලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ගෑස් උඳුන් 3,000 ක තොගයක් ඇතුළු භාණ්ඩ රැසක් සමන්විත ආයතනයක් පසුගිය දා (07) ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වටලනු ලැබුවා.
අදාළ භාණ්ඩ, කොටස් ලෙස ආනයනය කර මෙරටදී එකලස් කරන බව හා ඊට අවශ්‍ය තවත් කොටස් කිහිපයක් මෙරට විවිධ පුද්ගලයින්ගෙන් ද මිලදී ගන්නා බව එහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පවසා තිබුණ ද එම කරුණු සනාථ කිරීමට කිසිදු ලේඛනයක් අදාළ ආයතනය විසින් එම අවස්ථාවේදී නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබෙනවා.
එමෙන්ම මෙහිදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට අනාවරණය වී ඇත්තේ අදාළ ගෑස් උඳුන් බහාලන ඇසුරුම් සහ ඊට අදාළ ලේඛනද දේශීයව සකස් කර මුද්‍රණය කරන බවයි.
ශ්‍රී ලංකාවට ගෑස් උදුන් ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් කළමනාකරණය කරනු ලබන අනිවාර්ය ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමයේ (CIIS) කොටසක් වන ආනයන පරීක්ෂණ ක්‍රමවේදයකට යටත්වන අතර ඒ මගින්, ගෑස් උදුන් නිශ්චිත තත්ත්ව සහ ආරක්ෂණ ප්‍රමිතීන් සපුරාලන බවට සහතික කළ යුතු වනවා.
මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ව්‍යාපාරිකයා විසින් අදාළ අනිවාර්ය ආනයන පරීක්ෂණ යෝජනා ක්‍රමයේ පරීක්ෂණ මගහරිමින් මෙම එකලස්කිරීම සිදුකරන බව සහ නිසි ප්‍රමිතියට අනුකූල වන්නේද යන්න සහතික කිරීමකින් තොරව භාණ්ඩ වෙළදපොලට නිකුත්කරන බවයි.