ගොවීන් දහස් ගණනක් පා ගමනින් ඉන්දියාවේ අගනුවරට (VIDEO)

ගොවීන් දහස් ගණනක් පා ගමනින් ඉන්දියාවේ අගනුවරට (VIDEO)

අවම භෝග මිලක් ඉල්ලා විරෝධතාවයේ නිරත වූ දහස් සංඛ්‍යාත ගොවීන් දිල්ලි නුවරට පාගමනින් යාම වැළැක්වීම සඳහා උතුරු ඉන්දියාවේ පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විරෝධතා මැඩපැවැත්වීම සඳහා අගනුවර razor wire, සිමෙන්ති කුට්ටි සහ පැති තුනකින් වැටවල්වලින් වටකර ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙවරත් 2020 වර්ෂයේදී සිදුවූ දේ නැවත සිදුවනු ඇතැයි ඉන්දීය රජය බියට පත් වී ඇති බවයි.

ඒ 2020 දී වසරක් පුරා පැවති විරෝධතාවයකින් ගොවීන් සිය ගණනක් මියයාම හේතුවෙන්.

එම විරෝධතාව අවසන් වූයේ මතභේදාත්මක කෘෂිකාර්මික නීති අවලංගු කිරීමට ඇමතිවරුන් එකඟවීමෙන් පසුව පමණයි.

එහෙත් වසර දෙකක් පමණ ගතවී ඇතත් අනෙකුත් ඉල්ලීම් ඉටු වී නොමැති බවයි ගොවීන් පවසන්නේ.

අගනුවරට උතුරින් කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි අම්බාලා නගරය ආසන්නයේ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් යොදා ගන්නා ආකාරය ඡායාරූප මගින් විදෙස් මාධ්‍ය පෙන්නුම් කරනවා.

ඊයේ (12) පොලිසිය හර්යානා සහ පන්ජාබ් ප්‍රාන්ත අතර ෂම්බු දේශසීමාවේදිද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් බහුතරයක් පවසන්නේ, ඔවුන්ට සාමකාමීව හර්යානා හරහා දිල්ලි වෙත ළඟා වීමට අවශ්‍ය බව නමුත් ඔවුන්ට එසේ කිරීමට අවසර දී නොමැති බවයි.

ෂම්බු දේශසීමාවේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගුටිබැට හුවමාරුවක් ද වාර්තා වී ඇති අතර තවමත් තත්ත්වය නොසන්සුන්ව පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This