
චාමර ට එරෙහි අල්ලස් කොමිසමේ නඩුවක් ජනවාරි 20 කැඳවීමට අධිකරණය නියම කරයි
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට විරුද්ධව ගොනුකර තිබෙන පැමිණිල්ලක් ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම පැමිණිල්ල අද (18) කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේයි.
එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු කර අල්ලස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව මෙම නඩුකරයට අදාළ ඉදිරි පියවර දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ පැමිණිල්ල යළි ජනවාරි මස 20 වැනිදා කැඳවීමට නියම කළා.
2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවකින් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව එය ප්‍රතික්ෂේප කළ පසු අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06 ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173 කට අධික පාඩුවක් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
