චිකන්ගුන්යා  වෛරසයට එන්නතක්

චිකන්ගුන්යා වෛරසයට එන්නතක්

මදුරුවන්ගෙන් බෝවන වෛරසයක් වන චිකන්ගුන්යාවට එරෙහිව ප්‍රංශ-ඔස්ට්‍රියානු ඖෂධ නිෂ්පාදක සමාගමක් නිෂ්පාදනය කළ එන්නත නව අත්හදා බැලීම්වලදී හොඳ ප්‍රතිඵල පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සොයාගැනීම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නව ප්‍රබෝධයක් ඇති කර තිබෙනවා.

විශේෂඥයින් පවසන්නේ නව එන්නතට තවත් පර්යේෂණ අවශ්‍ය වන අතර එක්සත් ජනපදයේ තෝරාගත් පුද්ගලයින් කිහිපදෙනෙකු මත මෙම එන්නත අත්හදා බැලීම සිදු කළ බවයි.

උණ සහ සන්ධි වේදනාව ඇති කරන චිකන්ගුන්යා වෛරසය සඳහා දැනට එන්නත් හෝ ප්‍රතිකාර නොමැති අතර වෛරසය කලාතුරකින් මාරාන්තික තත්ත්වය දක්වා වර්ධනය වනවා.

ඖෂධ නිෂ්පාදකසමාගම පවසන්නේ නව එන්නත එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අනුමැතිය සඳහා අයදුම් කිරීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් විසින් සමාලෝචනය කරන ලද පළමුවන එන්නත බවයි. .

The Lancet journal හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයට අනුව, එන්නත ලබා ගත් පුද්ගලයින් 266 දෙනෙකුගෙන් 263ක් චිකන්ගුන්යා වෛරසය උදාසීන කළ හැකි ප්‍රතිදේහ නිපදවා තිබෙනවා.

එන්නත ලබා ගැනීමෙන් පසු බරපතල අතුරු ආබාධ ඇති කළේ දෙදෙනෙකුට පමණක් බව අධ්‍යයනයෙන් පැවසෙන අතර දෙදෙනාම මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This