
චිරං ජයතු වස්කඩුවේ මහින්දවංශ මහා නාහිමි…
බුදු දහමේ අනාගත චිරස්තිථිය උදෙසා අප්‍රමාණ වූ දායකත්වය දක්වන භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් ශාස්ත්‍රපති පණ්ඩිත වස්කඩුවේ මහින්දවංශ මහා නාහිමියන් සිහිපත් කළ හැකි ය.
උන්වහන්සේගේ මව්පියන් කළුතර වස්කඩුවේ පදිංචිව සිටි බෞද්ධ ශික්ෂණයෙන් මානව ජීවිතය හැඩ ගසා ගත් දම්පතීන් යුවළක් වූ එම්.එස්. කරුණාතිලක සහ කේ.ආර්.සී. සිල්වා දෙපළ වේ.
1953 ජූලි 21 වැනිදා පින්වත් පුත්‍ර රත්නයක් උපන්නහ. ඔහුට සරත් චන්ද්‍රසිරි යැයි නම් තැබුවේ ගමේ පන්සලේ වැඩ විසූ නාහිමියන් ය.
අග්‍රගණ්‍ය ශ්‍රේෂ්ඨ පඬිවරයෙකු, යතිවරයෙකු, වූ රාජගුරු ශ්‍රී සුභූති මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වස්කඩුවේ මහින්ද වංශ නාහිමියන්ගේ මව් පාර්ශ්වයෙන් ඤාතිත්වයක් පැවතිණි.
මහින්දවංශ මහා නාහිමිපාණන් වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වන්නේ දෙමාපිය යුවළගේ ඒකමතික ආශීර්වාදයෙන් ය. ඒ 1965 පොසොන් මස 10 වෙනිදා වස්කඩුවේ ශ්‍රී සුභූති අභිනවාරාම මහ වෙහෙරේ එවකට විහාරාධිපතිත්වය ඉසිලූ වස්කඩුවේ සීලවංශ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් සහ පානදුර පින්වත්තේ ශ්‍රී සද්ධර්මාකර පිරිවෙනේ රාජකීය පණ්ඩිත දේවානන්ද අධිකරණ සංඝනායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ‘වස්කඩුවේ මහින්දවංශ’ යන නාමයෙනි.
අනතුරුව උන්වහන්සේ වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති විහාරයේ වැඩ වාසය කරමින් මූලික අධ්‍යාපනය ඇරඹී ය. ඉනික්බිති වැඩිදුර අධ්‍යාපනය සඳහා පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විද්‍යායතනයට ඇතුළත්ව පාලි, සංස්කෘත, ප්‍රාචීන ආදී භාෂාවන් මෙන්ම භික්ෂුවකට අවශ්‍ය ප්‍රාරම්භ, මධ්‍ය සහ අවසාන වශයෙන් 1974 වසරේ මූලික අධ්‍යාපන කටයුතු නිම කළේ ය.
1974 පොසොන් මස 10 වන දින උපසම්පදාවට වස්කඩුවේ මහින්දවංශ හිමියන් ඇතුළත් වන අතර එතැන්හි දී උන්වහන්සේ අධිෂ්ඨානය කොට ගන්නේ ‘හැම විටම කිසියම් වගකීමක් දරන්නට පෙර තමන් ඒ සඳහා සුදුස්සෙකු විය යුතු ය යන්නයි. ඒ අනුව යමින් අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙන් ත්‍රිපිටකවේදී ගෞරව උපාධිය ලබා ගත්හ. ඉනික්බිති තව දුරටත් අධ්‍යාපනයේ නියැළෙමින් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, එම සරසවියෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්හ.
මේ වන විට උන්වහන්සේ ගරු බුහුමන් සම්මාන ප්‍රධානයන් ලබමින් වැඩ වාසය සිටියද ඒ සියල්ලටම වඩා ජනතාව වෙත සේවය කිරීම උන්වහන්සේගේ ප්‍රාර්ථනයයි.
එමෙන්ම 1993 වසරේ දී සුපතළ රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ අධිපතිත්වය මහින්දවංශ මහා න හිමියන්ට පැවරිණ. එපමණක් නොව පානදුරේ පින්වත්තේ සද්ධර්මාකර පිරිවනේ ආචාර්යත්වයෙන් 1982 සිට 1991 දක්වා හික්කඩුවේ තලාගස්දෙනිය ශ්‍රී සෝරත පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු සිදු කළ අතර උන්වහන්සේ ඉන් ඉවත් වූයේ සිය ආචාර්යවරයෙකු වශයෙන් වස්කඩුවේ ශීලවංශ නාහිමියන් බලවත්ව රෝගාතුර වූ නිසාම ය.
1992 වසරේ දී රාජ්‍ය සේවයට එක් වෙමින් මහින්දවංශ හිමියන් කළුතර ශාන්ත ජෝන් විද්‍යාලය, පොතුපිටිය මහා විද්‍යාලය ආදියෙහි සේවය කිරීමෙන් අනතුරුව වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති විද්‍යාලයට පත්වන්නේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් ය.
මහා විහාර වංශික අමරපුර මහා නිකායේ සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහා නායක ධූරය හොබවමින් වැඩ සිටින මහින්දවංශ මහා නාහිමියෝ I.B.S හෙවත් අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයකු ලෙස කටයුතු කරමින් බුදු දහමේ ප්‍රගමනය උදෙසා සුවිශාල දායකත්වයක් ලබාදෙන මහා නායකයෙකි.
තවද උන්වහන්සේ කපිල වස්තුපුර නිසැක සර්වඥ ධාතූන් වහ න්සේලාගේ භාරකාරීත්වය හොබවෙමින් ලක්ෂ ගණනාවක් ජනතාවට බුදුරජාණන් වහන්සේට ගෞරව කරමින් කුසල් රැස්කර ගැනීමට මග පහදා දුන්නා සේම ශුද්ධෝත්තම වූ දළෙයි ලාමා හට බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ නමක් ලබා දීමට තරම් මහා කාරුණිකයකු වින.
පළමුව බොදු ධජය එසවූ කොටහේන දීපදුත්තාරාම විහාරය මෙන්ම වස් කඩුවේ ශ්‍රී සුභූති විහාරය යන උභය විහාරාධිපතිවරයාණන් වන්නේ ද මහින්දවංශ මහා නාහිමියෝය.
අති පූජනීය මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි මෙන්ම පරම පූජනීය වස්කඩුවේ ශ්‍රී සුභූති මහනාහිමි ප්‍රමුඛ ප්‍රකට විද්වත් පූජනීය වූ සඟ පරපුරේ අභිමානය එලෙසෙන් රැගෙන අනාගතයට දායක කරන සුපටිපන්න,උජුපටිපන්න ගුණ සපිරි දශක හයක පැවිදි දිවියකට උරුමකම් කියන අතිපූජනීය වස්කඩුවේ මහින්දවංශ මහා නාහිමියනි තවත් දීර්ඝ කාලයක් සම්බුදු සසුනේ වැඩවසමින් කටයුතු කිරීමට ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා.! චිරං ජයතු මහ නාහිමියනි..!