චීනයට ප්‍රශංසාව පළ කළ ජනපති අනුර
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට සහාය ලබාදීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව චීන රජයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
මෙරට ආපදා තත්ත්වයන්වලදී ආධාර ලබාදීම මෙන්ම පාසල් දරුවන්ට නිල ඇදුම් ලබාදීම පිළිබඳව ද ජනාධිපතිවරයා චීන රජයට සිය ස්තූතිය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං මහත්මිය හමුවූ අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නව රජය සමග ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම අතරමඟ නතර වී ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ චීනයට අයත් කොටස අවසන් කළ යුතු බව පෙන්වාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ වරාය නගරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන සැපයුම් මධ්‍යස්ථානය සහ ආයතනික ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කර තිබෙනවා.
අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙන්ම විවිධ හේතූන් මත අතර මඟ නතර වී තිබෙන සමුද්‍රීය පරීක්ෂණ කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ උප සභාපතිනිය ප්‍රකාශ කර ඇත්තේ.
ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද කිං බොයොං මහත්මිය එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.