චීනයෙන් ජනපති අනුරට දුන් සහතිකය (VIDEO)

චීනයෙන් ජනපති අනුරට දුන් සහතිකය (VIDEO)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා පූර්ණ සහාය ලබාදීමට සහතික වන බව ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong මහතා පවසනවා.

අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවක දී ඔහු ජනාධිපතිවරයා වෙත මේ බව ප්‍රකාශ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත තානාපතිවරයා සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමා ඇති අතර ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා චීනය අඛණ්ඩව සහාය දක්වන බවත්, ශ්‍රී ලංකාව සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් චීන රජය අඛණ්ඩව කැපවී සිටින බවත් තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ක්‍රියාත්මක සහයෝගීතා ව්‍යාපෘතිවල වැදගත්කම හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා සහාය දැක්වීම සඳහා චීන සංවර්ධන බැංකුව (CDB) සහ EXIM බැංකුවේ ක්‍රියාකාරී මැදිහත්වීම පිළිබඳව ද මෙහිදී ඔහු විසින් අවධාරණය කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා සහාය දැක්වීම වෙනුවෙන් ප්‍රධාන වාණිජ සහ ද්විපාර්ශ්වික ණය ලබා දෙන්නන් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පූර්ණ සහාය ලබාදෙන බවට තානාපතිවරයා විසින් එම හමුවේදී තවදුරටත් ජනාධිපතිවරයා වෙත සහතික වී තිබෙනවා.

Share This