චීනය තායිවානය ආක්‍රමණය කරයි ද?
චීනය විසින් සිදු කිරීමට උත්සහ ගන්නා ආක්‍රමණ තැතකදී සිවිල් ආරක්ෂාව සම්බන්ධයෙන් සිවිල් වැසියන්ට මග පෙන්වීම් කෙරෙන අත්පොතක් මෑතකදී තායිවාන හමුදාව විසින් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම අත් පොත සකස් කර තිබුණේ “යුද වාතාවරණයක පැවැත්මේ මාර්ගෝපදේශ” ඇතුළත් කරමින් හා රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සමාන අවස්ථාවක “ පීඩනයට දිවයින ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය කෙරෙහි අවධානය යොමු කරමින් බවයි එම වාර්තාවලින් දැක්වුණේ.
ස්මාර්ට් ෆෝන් ඇප් ඔස්සේ බෝම්බ ඇති ස්ථාන හඳුනාගන්නා ආකාරය, ජලය සහ ආහාර සැපයුම් ස්ථානවලට ළඟා වන ආකාරය මෙන්ම හදිසි ප්‍රථමාධාර කට්ටල සකස් කර ගන්නා ආකාරය පිළිබඳ උපදෙස් එම අත්පොතට ඇතුළත් වනවා.
මෙයින් පෙනී යන්නේ සිදුවිය හැකි චීන ආක්‍රමණයක් පිළිබඳ තායිවාන නිලධාරීන් අතර බියක් ඇති වී ඇති බවයි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ “අද යුක්රේනය.හෙට තායිවානය!” යන පාඨ තායිවාන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යාමට ද එම බිය හේතු වී තිබෙනවා.
බීජිං නගරයට සමීප වීම හේතුවෙන් “පෘථිවියේ වඩාත්ම භයානක ස්ථානය” යැයි විස්තර කෙරෙන තායිවානයට බීජිං විසින් කරනු ලබන මිලිටරි හිරිහැර කිරීම් පසුගිය මාස කිහිපය තුළ වේගවත් වී තිබුණා. ඔක්තෝබර් 1 වනදා සිට තායිවානයේ ගුවන් ආරක්ෂක කලාපයට බීජිං මිලිටරි ගුවන් යානා 150 ක් ඇතුළත් වී තිබුණු අතර චීන ජනාධිපති ෂී ජින්පින් පසුව දිවයින නැවත ගොඩබිම සමඟ ඒකාබද්ධ කිරීමේ “ඓතිහාසික කර්තව්‍යය” සම්පූර්ණ කරන බව පැවසීමත් සමඟ බිය දෙගුණ තෙගුණ වුණා.
එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සිය රටේ ජාතික දිනයේ දී හමුදාව, දේශපාලඥයින් සහ විදේශ රාජ්‍යතාන්ත්‍රිකයින් ඉදිරියේ තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන් (Tsai Ing-wen) කියා සිටියේ තායිවාන ජනතාව පීඩනයට හිස නමනු ඇතැයි කිසිදු මිත්‍යාවක් තබා ගත යුතු නැති බවයි.
බීජිං වෙතින් වන “ආක්‍රමණ” තර්ජනය ඉහළ නගිද්දී “දිවයිනේ ආරක්ෂාව ඉහළ නැංවීමට” සිය ගණනින් විශේෂ බලකා භටයන් හා සොල්දාදුවන් පුහුණු කරමින් සිටින බව, The Wall Street Journal (WSJ) වාර්තා කර තිබුණා. තායිවානය එක්සත් ජනපදයෙන් “ඩොලර් බිලියන ගණනක මිලිටරි දෘඩාංග” මිල දී ගෙන ඇතැයි ද ඒ අතර වාර්තා වුණා.
චීනය තායිවානය ආක්‍රමණය කිරීමට තීරණයක් ගතහොත් “බීජිං හි “සයිබර් සහ ඉලෙක්ට්‍රොනික යුධ ඒකක තායිවානයේ මූල්‍ය පද්ධතිය සහ ප්‍රධාන යටිතල පහසුකම් ඉලක්ක කර ගැනීම මෙන්ම බැලස්ටික් මිසයිල පිළිබඳ දැනුම්දීම අඩු කිරීම සඳහා එක්සත් ජනපද චන්ද්‍රිකා ඉලක්ක කර ගනු ඇතැයි බ්ලූම්බර්ග් වාර්තාවක් මෑතකදී පැවසුවා.
චීන යාත්‍රාවලට තායිවානය අවට නැව්වලට හිරිහැර කළ හැකි අතර, ඉන්ධන සහ ආහාරවල අත්‍යවශ්‍ය සැපයුම් සීමා කළ හැකියි. ප්රවෘත්ති වෙබ් අඩවිය තවදුරටත් කියා සිටියේ, ගුවන් ප්‍රහාර ඉක්මනින් තායිවානයේ ඉහළ දේශපාලන සහ හමුදා නායකයින් මරා දැමීම සහ ප්‍රාදේශීය ආරක්ෂක අංශ නිශ්චල කිරීම ඉලක්ක කරනු ඇති බවයි. තායිවාන සමුද්‍ර සන්ධිය හරහා සැතපුම් 80 ක් පමණ දුරක් ගමන් කරන යුධ නැව් සහ සබ්මැරීන” මෙය අනුගමනය කරනු ඇති අතර, “පැරෂුට් භටයින් දහස් ගණනක් තායිවානයේ වෙරළ තීරයට ඉහළින් පෙනී සිටිය හැකියි. යනුවෙන්ද එහි දැක්වුණා.
මිලිටරි පුවත් වෙබ් අඩවියක් වන ද ඩ්‍රයිව් විසින් ග්‍රහණය කරගත් චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව, තායිවානය හරහා සිය සටන් ගුවන් සේවා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ද චීනය මේ වන විට ආරම්භ කර අවසන්. බීජිං දිවයිනට ප්රතිවිරුද්ධව පිහිටා ඇති ගුවන් කඳවුරු තුනක් වැඩිදියුණු කරමින්, “ගුවන් සටන් හැකියාවන්ගෙන් පිරී ඇති දැනටමත් නොසන්සුන් කලාපයේ ගුවන් බල හැකියාව ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනවා.
නව යටිතල පහසුකම් ඉදිකිරීම 2020 මුල් භාගයේදී ආරම්භ වූ අතර එහි ප්‍රමුඛතාවය අවධාරණය කරමින් වසංගතය හරහා බාධාවකින් තොරව අඛණ්ඩව සිදු කළ බව වෙබ් අඩවිය පවසනවා.
ෆෝබ්ස් සඟරාව පවසන්නේ ඊට ප්රතිපක්ෂව තායිවානය “ස්වාභාවික ආරක්ෂාව” මත රඳා පවතිනු ඇති බවයි. එහි රළු වෙරළ තීරයේ යුධ ටැංකි දහසක් යෙදවීමට සැලසුම් කර ඇති අතර මෙහි මිලේච්ඡ යුධ ගැටුම් ඇති විය හැකි යැයි ෆෝබ්ස් පෙන්වා දී තිබෙනවා. දිවයිනේ ඉහළම හමුදා නායකත්වය “චීනයට අනතුරු අඟවා ඇත්තේ එහි ගුවන් යානා සහ නැව් දිවයිනට ළං වන තරමට තායිපේ දැඩි ප්‍රතිචාර දක්වනු ඇති බවයි.
මේ ආකාරයට බලන විට රුසියාව යුක්රේනය ආක්‍රමණය කළාක් මෙන්ම චීනය ද ඕනෑම මොහොතක තායිවානය ආක්‍රමණය කිරීමේ අවධානමක් පවතින බව මිත්‍යාවක් නොව විය හැක්කකි. රුසියාව යුක්රේන නගරවලට බෝම්බ හෙලීම දිගටම කරගෙන යද්දී, ගැටුම සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය කෙරෙහි නිරීක්ෂකයන් දැඩි අවධානයක් යොමු කරන්නේ ඒ නිසයි. එය අනිවාර්යයෙන් තමන්ට පූර්වාදර්ශයක් බව දන්නා චීනය රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් බටහිර ප්‍රතිචාරය දෙස සිටින්නේ ද දැඩි විමසිල්ලෙනි.
යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් බටහිර රටවල් රුසියානු ව්‍යාපාර,පුද්ගලයන් සහ නිෂ්පාදනවලට එරෙහිව දැඩි සම්බාධක පනවමින් රුසියානු ආර්ථිකය අඩපණ කරනු ලැබුවා. බීජිං හි චීන නිලධාරීන් රුසියාවේ මෙම තත්ත්වය පිළිබඳ අතිශය සැලකිල්ලක් දක්වනු ලබන්නේ ඇයි? ඒ අනාගත තායිවාන ආක්‍රමණයක දී තමන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි සිතෙන ප්‍රතිවිපාක ද මේ හා සමපාත වන බව දන්නා හෙයිනි. තායිවාන ආක්‍රමණයක දී තමන්ට විඳීමට සිදුවන ප්‍රතිවිපාක සහ දඬුවම් පිළිබඳ චීනය පරීක්ෂා කරමින් සිටින බව විද්‍යාඥයින් කණ්ඩායමක් Insider වෙත පවසා තිබෙනවා.
මේ පිළිබඳ සැලකිලිමත් වන විශේෂඥයන්ගේ අදහස වන්නේ සම්බාධක සමඟ කටයුතු කිරීමට චීනය තමන්ගේම මෙවලම් කට්ටලයක් ගොඩනඟමින් සිටින බවයි.විශේෂයෙන්ම ඔවුන්ට සම්බාධක විරෝධී නීතියක් තිබෙනවා. එක් තීරයක් එක් මාවතක් මුලපිරීම වැනි ව්‍යාපෘති සලකා බැලීමේ දී තමන්ගේම කොන්දේසි මත ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට ඔවුන් උත්සහ ගන්නා ආකාරයෙන් එය හොඳින්ම පැහැදිලි කර ගත හැකියි. මූල්‍යමය වශයෙන් පමණක් නොව ඔවුන් භෞතික වශයෙන් ද හුදෙකලා වු ආර්ථික පරිසර පද්ධතියක් සැලසුම් කරමින් සිටින්නේ ඒ අනුව බව පැවසෙනවා.
චීනය සහ තායිවානය දෙකඩ වුණේ 1940 ගණන්වල පැවති සිවිල් යුද්ධයකදී වන අතර බීජිං සෑම විටම කියා සිටියේ දිවයින යම් අවස්ථාවක දී නැවත ලබා ගත යුතු බවයි. බීජිනය තායිවානය චීනයේ පළාතක් ලෙස සලකන අතර එය නැවත චීනයේ සෘජු කක්ෂයට ගෙන ඒම සඳහා බලය යෙදවීම ප්‍රතික්ෂේප කරන සායිගේ රජය හඳුන්වන්නේ බෙදුම්වාදීන් ලෙසයි.කෙසේ වෙතත් දෙදෙනා අතර ගැටුමක් ඇති වුවහොත්, ජාත්‍යන්තර ප්‍රජාවට “අපේ යුගයේ කේන්ද්‍රීය ප්‍රශ්නයට” මුහුණ දීමට සිදු වනු ඇතැයි, The Times’ Asia කර්තෘ Richard Lloyd-Parry පවසා තිබෙනවා.
“ෂී ට මුහුණ දීම විශාල හා විවිධ වියදම් ගෙන එන ක්‍රියාවලියක්” එය “පූර්ණ පරිමාණයේ මිලිටරි ආක්‍රමණයක් සහ ඉක්මනින් දිවයිනෙන් ඔබ්බට පැතිර යා හැකි යුද්ධයක්” වනු ඇතැයි ඔහු පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ බීජිං හි “අසල්වැසියන් වන ජපානය සහ ඉන්දියාව කෙරෙහි ආක්‍රමණශීලී හැසිරීම, හොංකොං හි මර්දනය සහ ෂින්ජියැන්ග්හි උයිගර්වරුන්ට කරන හිරිහැර නිසා “ඒකාධිපතිත්වයට එරෙහිව නැගී සිටීමේ වැදගත්කම ලෝකයේ බොහෝ දෙනෙකුට එකඟ විය හැකි තනි මතයකට ගෙන එනු ඇති බවයි.
අසල්වැසියන් දෙදෙනා අතර ගැටුමක් ඇති වුවහොත් එය “ව්‍යසනයක්” වනු ඇති බව මෑතකදී ද ඉකොනොමිස්ට් වාර්තාවක් ද පෙන්වා දෙනු ලැබුවා. මෙය ප්‍රථමයෙන් සිදුවන්නේ “තායිවානයේ ලේ වැගිරීමක්” ලෙස නමුත් එක්සත් ජනපදය මැදිහත්වීමත් සමඟ මෙය “න්‍යෂ්ටික බලවතුන් දෙදනෙකු අතර එනම් එක්සත් ජනපදය සහ චීනය අතර ගැටුමක් බවට පරිවර්තනය වීමේ වැඩි ඉඩක් පවතිනවා.
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ ඇස්තමේන්තු අනුව, චීනය සිය මිලිටරිය සඳහා කරන වියදම් 25 ගුණයකින් පමණ වැඩියෙන් පෙන්නුම් කරන අතර, එය බීජිං විශාල වශයෙන් තායිවානය අභිබවා යාමක් ලෙස සැලකිය හැකියි. තායිවානය හා එක්සත් ජනපදය අතර 1954 චීන-ඇමරිකානු අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම දක්වා දිවෙන ආරක්ෂක ගිවිසුමක් ඇති බැවින් එක්සත් ජනපදය ගැටුමට ඇද දැමීම වැළැක්විය නොහැකි දෙයක් වනු ඇතැයි පැවසෙනවා.
කෙසේවෙතත් රුසියාවේ ආක්‍රමණයෙන් පසුව, එක්සත් ජනපද ඔත්තු සේවා තායිවානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නැවුම් අනතුරු ඇඟවීම් කිරීමට දින කිහිපයකට පෙර, ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජනපද හිටපු නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් තායිවානයට යවා එක්සත් ජනපදයේ සහාය නැවත අවධාරණය කිරීමට කටයුතු කර තිබෙනවා. ඉකොනොමිස්ට් චීන හා තායිවානය අතර යුද්ධය විවරණය කරන්නේ“ඇමරිකාවේ මිලිටරි ශක්තිය සහ එහි රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලන අධිෂ්ඨානය පිළිබඳ පරීක්ෂණයක්” ලෙසයි.
බීජිනය බලහත්කාරයෙන් දිවයින අල්ලා ගැනීමට උත්සාහ කළහොත් එක්සත් ජනපදය මිලිටරි ප්‍රතිචාරයක් දක්වනු ඇත්දැයි CNN විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්, බයිඩන් පවසා සිටියේ ඔව්, අපට එය කිරීමට කැපවීමක් ඇති බවයි. කැනඩාවේ සහ යුරෝපයේ සිය නේටෝ සහචරයින් ආරක්ෂා කිරීමට එක්සත් ජනපදයට “පරිශුද්ධ කැපවීමක්” ඇති බවත්, එය ජපානය හා දකුනු කොරියාව සමග සමාන වන බව ද බයිඩන් පවසා තිබුණා.
ඓතිහාසික මිලිටරි ගිවිසුමක් වන Aukus අත්සන් තැබූ රටවල් වන එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව, ඉන්දු-පැසිෆික් කලාපයේ ආධිපත්‍යය භාර නොදෙන බවට චීනයට පැහැදිලි පණිවිඩයක් යැවීමට සැලසුම් කර ඇතැයි මේ අතර පැවසෙනවා. චීන ජෙට් යානා ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන්, තායිවානයේ විදේශ අමාත්‍ය ජෝසප් වු ABC වෙත අදහස් දක්වමින් කියා සිටියේ “චීනය යම් අවස්ථාවක තායිවානයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමට යන බවට රට දැඩි කණස්සල්ලට පත්ව සිටින බවයි. එවැනි තත්ත්වයක් මතුවුවහොත් “එක්සත් ජනපදය එය සමඟ සටන් කරන්නේද යන්න මත ඕස්ට්‍රේලියාවේ ඉරණම තීරණය වනු ඇතැයි ABC විශ්ලේෂකයින් පවසනවා.
මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී පෙනී යන්නේ චීන ආක්‍රමණයකට ප්‍රතිරෝධයක් දැක්වීමක දී තායිවානය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දුන් ඕස්ට්‍රේලියාව එක්සත් ජනපදය හා ජපානය එකට එකතු වීමේ වැඩි ඉඩක් පවතින බවයි. 1950 ගණන්වල තායිවානය වෙත චීන ආක්‍රමණයක් වැලැක්විමට න්‍යෂ්ටික අවි භාවිතා කිරීම පිළිබඳ වොෂින්ටනයේ සිදුවූ සාකච්ඡා පිළිබඳ කාන්දු වූ ලේඛන කිහිපයක් ඔස්සේ නිව්යෝර්ක් ටයිම්ස් පසු ගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් නැවත ගෝලීය යුද්ධයක් ඇති වුවහොත් මතුවන අවදානම කෙතරම් දැයි පෙන්වා දී තිබෙනවා.