චීන ජනපති වියට්නාම නිල සංචාරය අරඹයි

චීන ජනපති වියට්නාම නිල සංචාරය අරඹයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සිය වියට්නාම නිල සංචාරය ආරම්භ කර තිබෙනවා.

නිල සංචාරයක නිරත වීම සඳහා වියට්නාමය බලා ගිය චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ (14) විශේෂ ගුවන් යානාවකින් එරට Hanoi අගනුවරට ළඟා වුණා.

වියට්නාම ජනාධිපති Luong Cuong මහතා‍ ඇතුළු වියට්නාම කොම්යුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයින් ගුවන් තොටුපොළේදී චීන ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

අනතුරුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාමයේ Hanoi හි Noi Bai ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී දේශනයක් ද පවත්වා තිබෙනවා.

මෙම වසර වියට්නාම කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 95 වන සංවත්සරය, වියට්නාමය පිහිටුවීමේ 80 වන සංවත්සරය සහ දකුණු වියට්නාමය නිදහස් කර ගැනීමේ 50 වන සංවත්සරය සනිටුහන් කරන්නක්.

To Lam මහතා කේන්ද්‍ර කරගත් වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ වියට්නාමයට නිසැකවම එහි ජාතික තත්වයන්ට ගැලපෙන සමාජවාදී මාවතක් අනුගමනය කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ෂී ජින්පින් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

2023 වසරේදී වියට්නාමයේ කළ නිල සංචාරයේදී, දෙපාර්ශ්වය උපායමාර්ගික වැදගත්කමක් ඇති පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීම නිවේදනය කළ බවත්, එමඟින් පක්ෂ දෙක සහ රටවල් දෙක අතර සබඳතා නව අවධියකට ගෙන යන බවත් ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.

මෙම වසර චීනය සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය සහ “චීන-වියට්නාම මානව හා සංස්කෘතික හුවමාරු වර්ෂය” සනිටුහන් කරන අතර, මෙමගින් පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීමට නව සංවර්ධන අවස්ථා ගෙන දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වියට්නාම නායකයින් සමඟ පක්ෂ දෙක සහ රටවල් දෙක අතර සබඳතා පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගැනීමටත්, පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ඒකාබද්ධව නව සැලැස්මක් සකස් කිරීමටත් මෙවර සංචාරය අවස්ථාවක් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ෂී ජින් පිං මහතා සිය දේශනයෙන් අවධාරණය කර තිබෙනවා.

චීන ජනාධිපතිවරයා, වියට්නාම අග්‍රාමාත්‍ය Pham Minh Chinh මහතා ද හමුවී ඇති බව සඳහන්.

Share This