චීන රේඩාර් මධ්‍යස්ථානය ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අයුරු

චීන රේඩාර් මධ්‍යස්ථානය ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අයුරු

ශ්‍රී ලංකාව තුළ උපාය මාර්ගික වටිනාකමකින් යුතු, රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනය සුදානම් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය තවදුරටත් කරනු දක්වමින් තිබෙනවා.

දෙවුන්දර තුඩුව ආසන්න ප්‍රදේශයක මෙය පිහිටුවීමට අරමුණු කරගෙන ඇති බවට පළමුව වාර්තා කළේ ඉන්දියාවේ Economic times පුවත්පතයි.

එම වාර්තාවට අනුව ඉන්දීය සාගර කලාපයේ, ඉන්දීය නාවික හමුදා උපායමාර්ගික අධීක්ෂණය මැඩලීම සඳහා මෙම කඳවුර පිහිටුවීමට යෝජනාවී ඇතැයි සඳහන්.

‘ඉකොනොමික්ස් ටයිම්ස්'(Economic Times) පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් අධික්ෂණය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුකෙරෙන අතර, කලාපයේ ඉන්දියානු උපායමාර්ගික හැසිරීම් මෙමගින් නිරීක්ෂණයට ලක්කෙරෙනු ඇති.

කොළඹට කිලෝමීටර 155ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටි දෙවුන්දර තුඩුව ආශ්‍රිත කැළෑරොදක මෙම මෙම කඳවුර ස්ථාපනය කිරීමට යෝජනාවී ඇති බවත් එය මෙහෙයවනු ලබන්නේ චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය බවත් අදාළ වාර්තාවේ සඳහන්.

මෙම රේඩාර් මධ්‍යස්ථානය ඔස්සේ දෙවුන්දර තුඩුවේ සිට කිලෝමීටර 1700ක් නිරිතදිගින් පවතින දියාගෝ ගාර්ෂියා හි පිහිටි කඳවුරේ, එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළහැකි බවද මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

මෙහිදී භාවිත කිරීමට නියමිත රේඩාර් පද්ධතිය චීනය විසින් සාර්ථකව ස්ථාපනය කළහොත්, අදාළ රේඩාර් පරාසය තුළ පවතින ඉන්දියානු හමුදා මධ්‍යස්ථානවලට එය අහිතකර ලෙස බලපානු ඇති බවද ශ්‍රී ලංකාව පිහිටුවීමට නියමිත මෙම චීන අධීක්ෂණ මධ්‍යස්ථානයට, නැගෙනහිරින් අන්දමන් සහ නිකොබාර් දුපත් දක්වා පරාසයක ක්‍රියාත්මක විය හැකි බව ද එම වාර්තා මගින් පෙන්වාදී තිබෙනවා.

මෙම නිල වශයෙන් තහවුරු කර නැති පුවත පිළිබඳව විදෙස් මාධ්‍ය දක්වා ඇති කරුණු පහතින් දැක්වෙනවා.

“මෙම චීන රේඩාර් මධ්‍යස්ථානය සම්බන්ධයෙන් එක්සත් ජනපදය මෙන්ම ඉන්දියාවද කනස්සල්ලට පත්ව සිටින බව පෙනෙන්නට ඇති බවත් විශේෂයෙන් කූඩන්කුලම් සහ කල්පක්කම් යන ඉන්දීය න්‍යෂ්ටික බලාගාර සහ එම පහසුකම්වලට ඉන්ධන සැපයීම මෙහිදී චීනයට රේඩාර් මගින් නිරීක්ෂණය කළ හැකි බවට සැකයක් පවතින බවත් ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය අනතුරු ඇඟවීම් නොතකා ශ්‍රී ලංකා රජය චීන ඉල්ලීමට එකඟ වීමෙන් පසු පසුගිය වසරේ චීන නිරීක්ෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණි අතර ඉන්ධන සහ සැපයුම් සඳහා දින හයක් නෞකාව එහි රැඳී සිටියා.

මේ වන විට ඉන්දියාව සැක පළකරමින් සිටින්නේ යුවාන් වැන්ග් 5 නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය, මෙම නව රේඩාර් මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වන ආරම්භක පියවරක් ලෙසයි.

මෙම නිල වශයෙන් තහවුරු කර නැති පුවත පිළිබඳව විදෙස් මාධ්‍ය දක්වා ඇති කරුණු පහතින් දැක්වෙනවා.

‘ගෙවීගිය වසර දහයක කාලය තුළ දකුණු ආසියාව තුළ සිය බලපෑම සැළකිව යුතු ලෙස වර්ධනය කර ඇති චීනය, දැන් ශ්‍රී ලංකා භුමියේ හමුදා කඳවුරක් හෝ සැපයුම් පහසුකම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින බවට ඇමෙරිකා එක්සත් ජනපදය පළමු වරට අනතුරු අඟවන ලද්දේ 2021 වර්ෂයේදීය. චීනය පිළිබඳ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව (DOD) විසින් 2021 නොවැම්බර් පළමු සතියේ නිකුත් කරන ලද ‘විස්තීරණ වාර්තාවක්'(comprehensive report) මගින් අනාවරණය කර තිබුණේ, ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් කිහිපයක නාවික, ගුවන් සහ ගොඩබිම් ප්‍රක්ෂේපණයට සහාය වීම සඳහා, අමතර හමුදා කඳවුරු සහ සැපයුම් පහසුකම් වැඩිදියුණු කිරීමට චීනය ‘දැනටමත්’ සැලසුම් කරමින් සිටින බවය.

අමෙරිකානු වාර්තාවේ නම් කර ඇති අනෙකුත් රටවල් වන්නේ කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය, සිංගප්පූරුව, පාකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කෙන්යාව, සීෂෙල්ස්, ටැන්සානියාව, ඇන්ගෝලාව සහ ටජිකිස්ථානයයි. මහජන විමුක්ති හමුදාවේ (PLA) ක්‍රියාකාරකම් වෙනුවෙන් චීනය මෙම කඳවුරු හෝ මධ්‍යස්ථාන පිහිටුවනු ලැබේ.

මෙම අමෙරිකානු වාර්තාවේ සඳහන් කර ඇත්තේ චීනය දැනටමත් නැමීබියාවේ එවැනි කඳවුරක් ඉදිකිරීම් ආරම්භ කර ඇති බවයි. මෙලෙස හමුදා බලය වැඩිදියුණු කිරීම වෙනුවෙන් චීන මහජන විමුක්ති හමුදාව සැලසුම්කරන ප්‍රසිද්ධ කේන්ද්‍රගත ප්‍රදේශ වන්නේ චීනයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය, අප්‍රිකාව සහ පැසිෆික් දූපත් දක්වා සැලසුම් කර ඇති ‘මුහුදු සන්නිවේදන මාර්ග’ (sea lines of communication (SLOC)) ඔස්සේය. මුහුදු සන්නිවේදන මාර්ග ලෙස සහ වාණිජ වෙළඳ මාර්ග ලෙස සැළකුණද, එක්සත් ජනපදය පෙන්වා දෙන්නේ, ඒවා දුර බැහැර ස්ථානවල පවතින සම්පත් වෙත ළඟාවීමට ප්‍රවේශය ලබාදෙන උපාය ‘මාර්ගික අධිවේගී මාර්ග’ ලෙසයි.

මෙය විශේෂයෙන්ම තෙල් හා ගෑස් නැව්ගත කිරීම් සඳහා අදාළ වන අතර, ඒවායින් අතිමහත් බහුතරයක් මුහුද හරහා ප්‍රවාහනය කරනු ලැබේ. රුසියානු-යුක්‍රේන යුද්ධය හමුවේ, බටහිරට එරෙහි රුසියානු හිතවතකු ලෙස චීනයට මෙම නෞකා මාර්ග අතිශය වැදගත් වන බව පෙනෙන්නට තිබේ. මෙම අමෙරිකානු වාර්තාව සත්‍යයක් ලෙසින් සැළකිව හැකි බවට ඉඟි පළකරමින්, එම හෙළිදරව්වට මාස 15කට පසුව, ශ්‍රී ලංකා භුමියේ රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනය දැන් යෝජනා කර ඇති බව විදෙස් ජනමාධ්‍ය ආයතන ගණනාවක් වාර්තා කිරීමත් සමග, යුවාන් වැන්ග් -05 නෞකාව පන්නයේ තවත් මතභේදයක් ශ්‍රී ලංකාව පදනම් කරගනිමින්, කලාපීය බලවතුන් අතර නිර්මාණය වනු ඇතැයි නැවතත් සැකසංකා නිර්මාණය වී ඇත.

පසුගිය වසරේ ඉන්දියාවේ විරෝධය මැද මෙරටට පැමිණි යුආන් වැන්ග් 5 නෞකාව YUAN WANG 5 (IMO: 9413054) නෞකාව යනු 2007 (වසර 15 කට පෙර) ඉදිකරන ලද සහ චීනයේ ධජය යටතේ යාත්‍රා කරන පර්යේෂණ හා සමීක්ෂණ යාත්‍රාවකි. එහි රැගෙන යා හැකි ධාරිතාව ටොන් 11000 වන අතර නෞකාවේ සමස්ත දිග මීටර් 222 ක් වන අතර පළල මීටර් 25.2 කි. යුවාන් වැන්ග් 5 යනු යුවාන් වැන්ග් ශ්‍රේණියේ තුන්වන පරම්පරාවේ ලුහුබැඳීමේ නෞකාව වන අතර ජියැන්ග්නන් නැව් තටාකාංගනය විසින් නිර්මාණය කරන ලද්දකි. චීනයේ අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ නෞකාව Yuan wang-5, එරටේ Long March-5B රොකට්ටුව දියත් කිරීම සඳහා සමුද්‍රීය ලුහුබැඳීම් සහ මිනුම් මෙහෙයුම සඳහා යොදාගනී. 2000 දශකයේ මුල් භාගයේ සිට චීනය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාමාජික රාජ්‍යයක් ලෙස සම්බන්ධ වීමට උනන්දු වූ නමුත් බොහෝ වාරයක් චීනයේ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කරන ලදී. එවන් පසුබිමක යුවාන් වැන්ග් 5 වැනි ලුහුබැඳීමේ විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක්, එරට අභ්‍යවකාශ වැඩසටහන් සඳහා ඉතා වැදගත් වේ.

චීනයේ මිලිටරි නවීකරණය පිළිබඳ පෙන්ටගනයේ වාර්ෂික වාර්තාව පවසන්නේ යුවාන් වැන්ග් නැව් මෙහෙයවනු ලබන්නේ මහජන විමුක්ති හමුදාවේ (PLA) උපායමාර්ගික ආධාරක බලකාය විසින් බවයි. යුවාන් වැන්ග් 5 අභ්‍යවකාශය සහ චන්ද්‍රිකා ලුහුබැඳීම සඳහා යොදා ගත හැකි අතර, අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීම් සඳහා ද විශේෂිත නෞකාවක් ලෙස සැළකෙයි. 2014 දී චීනයේ සබ්මැරීනයකට සහ යුද නැවකට කොළඹ නැංගුරම් ලෑමට ශ්‍රී ලංකාව ඉඩ දීම ඉන්දියාවේ දැඩි විරෝධයක් එල්ල වූ අතර රොයිටර් පුවත්සේවය පැවසුවේ මෙම සබ්මැරීනයට හා යුද නැවට කොළඹ වරායට ඇතුළුවීමට අවසර දීම හේතුවෙන් එවක ජනපති මහින්ද රාජපක්ෂට තම තෙවන ධුරකාලය සඳහා පැවැත්වූ මැතිවරණයන් පරාජය වීමට හේතුවූ බවයි.’

කෙසේහෝ චීනය විසින් මෙලෙස සිය මහජන විමුක්ති හමුදාව යටතේ පාලනය කෙරෙන කුමන හෝ ආකාරයක කඳවුරක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම යනු, එය මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම ඉන්දු-පැසිෆික් කලාපයේ බල තුලනයටද සෘජු තර්ජනයක් බව අමුතුවෙන් කිවයුතු නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This