චෙම්මනි සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 166 කට අදාළ අස්ථි මතුකරගනී

චෙම්මනි සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 166 කට අදාළ අස්ථි මතුකරගනී

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ පස්වන අදියර දෙවන දිනය වන ඊයේ (26) දිනයේ මිනිස් සිරුරු 16 කට අදාළ අස්ථි කොටස් මතුකරගත් බවයි.

ඒ අනුව සමස්ත කැනීම් තුළින් මේ වන විට මිනිස් සිරුරු 166 කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන ඇති බවද කැනීම් නිළධාරීන් පැවසුවා.

නිළධාරීන් සදහන් කළේ සමූහ මිනිවළ තුළින් මේ දක්වා මිනිස් සිරුරු 166 ක අස්ථි කොටස් මතුකරගෙන ඇති අතර,මිනිස් සිරුරු 150 කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බවයි.

කැනීම් නිළධාරීන් පැවසූවේ සමූහ මිනිවළ පස්වන අදියරේ කැනීම් කටයුතු සැප්තැම්බර් 07 වැනිදා දක්වා සිදුකිරීමට සැළසුම් කර ඇති බවයි.

සමූහ මිනිවළ සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගනිමින් පස්වන අදියර කැනීම් කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවද කැනීම් නිළධාරීන් පැවසුවා.

යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා මහතාගේ අධීක්ෂණය යටතේ,කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා,යාපනය විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතු සිදුකරනවා.

සමූහ මිනිවළ තුළින් හමුවු අස්ථි කොටස් හා සමූහ මිනිවළ තුළින් හමුවු භාණ්ඩ තබා ඇත්තේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ,යාපනය විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා භාරයේයි.

සමූහ මිනිවළ අස්ථි කොටස් හමුවු ස්ථානයට ආසන්න ස්ථානයන්ගේ ස්කෑන් පරීක්ෂණ පැවැත්වීම පසුගිය 04 වැනිදා හා 05 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් සිදුකළ අතර, සිදුකළ ස්කෑන් පරීක්ෂණ වාර්තාව අගෝස්තු 14 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ විශේෂඥ කණ්ඩායම කටයුතු කර තිබුණා.

සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතු තවත් සති අටක පමණ කාලයක් සිදුකළ යුතු බවට සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළ බව අධිකරණ කටයුතු වෙනුවෙන් එක්වු නීතිඥයින් සදහන් කළා.

 

 

Share This