‘ඡන්ද හිමියන්ගේ දිනය’ සැමරීමේ ජාතික උත්සවය ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් (වීඩියෝ)
වාර්ෂික ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ කොළඹ දී පැවැත් වුණා.
ආසියාතික රාජ්‍යයන් අතරින් ප්‍රථමවරට සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාව ගෝලීය ප්රජාතන්ත්රවාදී ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයක් අත්කර ගෙන ඇති අතර ඡන්ද අයිතිය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පිළිබඳ බොහෝ දෙනෙකුට ඇති දැනුම අල්ප වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමෙන් අපේක්ෂා කෙරෙනවා.
වර්තමානයේ පෙබරවාරි මස 01 වන දින “ඡන්ද හිමියන්ගේ දිනය” ලෙස නම් කර ඇති අතර 2012 වසරේ සිට “ඡන්ද හිමියන්ගේ දිනය” මූලික කරගනිමින් සම්මන්ත්රණ, පාගමන්, රථ පෙළපාළි, අත්පත්‍රිකා බෙදාහැරීම්, පොස්ටර් බැනර් ප්‍රදර්ශනය ඇතුළු විවිධ වැඩසටහන් මගින් ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
මේ අතර දේශපාලනයේ නිරත ඇතැමුන් ප්රජාතන්ත්රවාදයට බිය බව, පෙන්වා දුන් මෙම අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්රජාතන්ත්රවාදයට බිය වුවහොත් එතැන් සිට ආණ්ඩුවත් රටත් විනාශ වන බව සඳහන් කළා.
1975 ඡන්දය කල් දැමීම, 1982 ජනමත විචාරණය හේතුවෙන් තරුණ තරුණියෝ ඡන්ද ක්‍රමය ගැන කළකිරීමට පත් වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස 88/89 දී හැටදාහක් තරුණ තරුණියෝ පාරේ මරා දමන තැනට වැඩ සිද්ධ වූ බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කර සිටියා.
එය තේරුම්ගත් තමා 2005 සිට 2015 දක්වා නියමිත කාලසීමාවට පෙර මැතිවරණ පවත්වමින් ඡන්ද අයිතිය ලබාදුන් බව සිහිපත් කළා.
මේ අතර ඡන්දය දී ආණ්ඩු හදන පුද්ගලයින් එම ආණ්ඩු ශක්තිමත් කරමින් සංවර්ධනයට ද දායක විය යුතු බවත් වැරදි ඇතොත් ඒවා විවේචනාත්මකව පෙන්වා දීමෙන් ඡන්දදායකයාට වගකීම්සහගත පුරවැසියෙකු විය හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා මෙහිදී ප්‍රකාශකර සිටියා.