ජනගහන අර්බුදය උග්‍ර නිසා ලොව සිදුවන අඩුම විවාහ වාර්තාව චීනයෙන්

ජනගහන අර්බුදය උග්‍ර නිසා ලොව සිදුවන අඩුම විවාහ වාර්තාව චීනයෙන්

පසුගිය වසරේ නිකුත් කර ඇති වාර්තාවලට අනුව චීනය පසුගිය දශකය පුරාවට ලොව අවම වශයෙන් විවාහ සිදු වූ රට ලෙස වාර්තාවක් තබා තිබෙනවා.

දශකයක කාලයක් තිස්සේ පැන නැගී ඇති උපත් අනුපාතය හා ජනවිකාශන අර්බුදය හේතුවෙන් මෙවන් තත්වයක් උද්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

චීනයේ සිවිල් කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2022 දී මිලියන 6.83 ක් පමණ විවාහ වී ඇති අතර 2021 දී මිලියන 7.63 ක විවාහ ලියාපදිංචියෙන් 10.5% කින් පමණ අඩු වී තිබෙනවා.

1986 වර්ෂයේ සිට අමාත්‍යාංශය සංඛ්‍යාලේඛනවලට අනුව වාර්තාගත ලෙස අඩු අගයක් පසුගිය වසරේ දත්ත සනිටුහන් කරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ .

අඩුවන විවාහ සංඛ්‍යාව නිසා උපත්වල කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන අතර වයස්ගත ජනගහනය නිසා රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවන බව බීජිං හි ජන විකාශන විශේෂඥ බලධාරීන් පවසනවා.

චීනයේ ජනගහනය වසර 60කට වැඩි කාලයකට පසු ප්‍රථම වතාවට 2022 දී අඩු වී තිබෙනවා.

පුද්ගලයන් 1,000කට උපත් 6ක් පමණක් සිදු වී ඇති බව වාර්තාවල සඳහන් වන අතර 1949 දී කොමියුනිස්ට් චීනය පිහිටුවීමෙන් පසු අඩු වශයෙන්ම සිදුව ඇති උපත් ප්‍රමාණය මෙය වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව බිලියන 1.4 ක ජනගහනයක් පහත වැටීමත් සමග ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත රට බවට චීනය පත්වනවා.

පසුගිය මාසයේ, රජයට අනුබද්ධ චීන පවුල් සැලසුම් සංගමය “විවාහය සහ දරුවන් බිහිකිරීම පිළිබඳ නව සංකල්පයක්” වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කර තිබෙනවා.

මෙම වැඩසටහන පසුගිය වසරේ නගර 20 ක් වෙත ව්‍යාප්ත කරන ලද අතර, නිසි වයසේදී විවාහ වීමට තරුණ තරුණියන් පෙළඹවීම සහ දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This