ජනපති කැබිනට්ටුවට ඉදිරිපත් කළ වතු සම්බන්ධ යෝජනාවට අනුමැතිය

ජනපති කැබිනට්ටුවට ඉදිරිපත් කළ වතු සම්බන්ධ යෝජනාවට අනුමැතිය

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිරවුල් කිරීමෙන් පසුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදලට අනුව ආයතනයන් විසින් ගෙවිය යුතු අධිභාර මුදල්වලින් අඩුකළ හැකි උපරිම ප්‍රමාණය අඩුකිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස්දීමට ජනාධිපතිවරයා සිය යෝජනාව මගින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවල හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිසි පරිදි නොපියවීම හේතුවෙන් විවිධ පළාත්වල අධිකරණයන්හි නඩු 2,000කට අධික ප්‍රමාණයක් විභාග වෙමින් පවතින බව සඳහන්.

එකී හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම සඳහා එම ආයතනයන්හි ඉපයීම් ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා අවශ්‍ය මුදල් ණය මුදලක් වශයෙන් මහා භාණ්ඩාගාරය විසින් ලබාදී එම ආයතනවල ඉපයීම්වලින් අදාළ ණය මුදල කොටස් වශයෙන් නිරවුල් කිරීම යෝග්‍ය බව හඳුනාගැනීමෙන් අනතුරුවයි අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

එම ආයතන විසින් ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදලේ මුළු දායකත්ව මුදල ගෙවා සම්පූර්ණ කිරීමෙන් පසුව එම මුදලට අදාළව ගෙවිය යුතුව පවතින අධිභාර මුදල අඩු කිරීමට 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ විධිවිධාන පරිදි කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට හැකියාව පවතිනවා.

Share This