ජනපති , කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමග අය – වැය ගැන සාකච්ඡාවක්

ජනපති , කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමග අය – වැය ගැන සාකච්ඡාවක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) පෙරවරුවේ පැවැත් වුණා.

ජනාධිපති කාර්යාලය පැවසුවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පිළිබඳව වෙන් වෙන්ව මෙහිදී නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා රජය සතු ඉඩම්වල පවතින ව්‍යාකූලතා කඩිනමින් නිරවුල් කර ගනිමින් දත්ත පද්ධතියක් සකස් කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්ත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පුළුල් ලෙස ආර්ථිකයට දායක කර ගැනීමේ ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කරන සහ ග්‍රාමීය ජනතාව ආර්ථිකයට ඒකාබද්ධ කරන රජයේ ප්‍රධාන වැඩපිළිවෙළ බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම දේශීය කිරි නිෂ්පාදනය හා සත්ව ගොවිපොළ යන ක්ෂේත්‍ර කර්මාන්ත ලෙස සංවර්ධනය කිරීම සඳහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කළා.

 

Share This