ජනපති රයිසිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

ජනපති රයිසිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

හදිසි හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මහතාගේ දේහය පිළිබඳ අවමංගල උත්සවය අද(21) ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය නිමිත්තෙන් ඉරානයට දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ බව සඳහන්.

ජනාධිපතිවරයාගේ අවමංගල උත්සවයේ නිල කටයුතු අද පෙරවරුවේ ඉරානයේ ටැබ්‍රිස් නගරයේදී ආරම්භ වුණා.

ඒ අනුව ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ අවමංගල උත්සවය දින 3ක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අද රාත්‍රී කාලයේදී දේහයන් ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරයට ගෙන ඒමට නියමිත බව සඳහන්.

හෙට (22) පෙරවරුවේ සිට රයිසි ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ දේහයන් රැගත් අවමංගල පෙරහැරක් ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ සිට අසාදී චතුරස්‍රය වෙත ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

පසුව විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් සහභාගි වන නිල අවමංගල උත්සවය පැවැත්වෙන බව සඳහන්.

බ්‍රහස්පතින්දා දින පෙරවරුවේදී පිරිසගේ දේහයන් දකුණු කොරසාන් ප්‍රාන්තය වෙත ගෙන යනු ලබනවා.

ඒ ජනපති රයිසි, මීට පෙර අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ නියෝජිතයා ලෙස කටයුතු එම ප්‍රාන්තයේ කටයුතු කිරීම හේතුවෙන්.

ඒ අනුව දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This