
ජනපති හා නවසීලන්ත නියෝජ්‍ය අගමැති අතර හමුවක්
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් (Winston Peters) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි සිදු වුණා.
පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ද ලැබු සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳ මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජය වෙත නවසීලන්ත රජයේ සහ ජනතාවගේ සුබපැතුම් පිරිනැමූ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දෙරට අතර දිගුකාලීන මිත්‍ර සබඳතා ඉතා ශක්තිමත් ලෙස තහවුරු කර ගැනීම තම රජයේ අරමුණ බවද කියා සිටියා.
නව රජය යටතේ ශ්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින ධනාත්මක වර්ධනය පිළිබඳ සතුට පළ කළ නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් නව රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළා.
මෙම පසුබිම තුළ නවසීලන්ත රජය ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහාය ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතාගේ මෙම සංචාරය ශ්‍රී ලංකා – නවසීලන්ත සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති බව සඳහන් කළා.