ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරඹේ

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරඹේ

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා තිබෙනවා.

විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන බවයි නිවේදනයක් නිකුත්කරමින් එම අංශය පවසන්නේ.

මෙම වාහන අතර BMW මෝටර් රථ 02ක්, Ford Everest ජීප් රථ 02ක්, Hyundai Terracan ජීප් රථ 01ක්, Land Rover ජීප් රථ 02ක්, Mitsubishi Montero රථ 01ක්, Nissan Petrol රථ 03ක්, Nissan වර්ගයේ මෝටර් කාර් 02ක්, Porsche Cayenne මෝටර් රථ 01ක්, Ssangyong Rexton වර්ගයේ ජීප් රථ 05ක්, Land Cruiser Sahara වර්ගයේ ජීප් රථ 01ක්, V8 රථ 06ක්, සහ Mitsubishi Rosa වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත බවද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා තිබේ.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබුවා.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී Defender ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් අලෙවිකර ඇති බවද අදාළ නිවේදනයේ දක්වා තිබේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වේ.

Share This