ජනාධිපති වුණත් මම තාත්තා කෙනෙක් – එත් මම අධිකරණයේ තීන්දුවට ගරු කරනවා

ජනාධිපති වුණත් මම තාත්තා කෙනෙක් – එත් මම අධිකරණයේ තීන්දුවට ගරු කරනවා

තම පුතා තුවක්කු අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු කිරීමට ජූරි සභාවක් ගත් තීරණයට ගරු කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. .

මෙම තීන්දුව සතියක් පුරා පැවති නඩු විභාගයකින් පසු ලබාදී ඇති අතර එය තම පවුලට කැලඹිලි සහිත කාලයක් වූ බවයි ජනාධිපතිවරයා කියා සිටියා.

54 හැවිරිදි හන්ටර් බයිඩ්න්, 2018 දී අත් තුවක්කුවක් මිල දී ගැනීමේ පෝරමයක ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බොරු කීම සම්බන්ධයෙන් 12 පුද්ගල ජූරි සභාව විසින් වරදකරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තීන්දුවෙන් පසු ඔහුව සිරගත කිරීමට ඉඩ ඇති අතර, එය අමෙරිකාවේ දැනට බලයේ නිරත ජනාධිපති දරුවෙකුගේ පළමු අපරාධ නඩු විභාගය ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.

ජනාධිපති බයිඩ්න් ඩෙලවෙයාර් හි නඩු විභාගයට නොපැමිණි අතර, ජනාධිපති ආර්යාව ජිල් බයිඩ්න් ඇතුළු බොහෝ පවුලේ සාමාජිකයින් නිතිපතා නඩු විභාගයට පැමිණි බව සඳහන්.

තීන්දුවෙන් පසු ජනාධිපති බයිඩ්න් ඩෙලවෙයාර් හි විල්මින්ටන් වෙත ගමන් කළ අතර එහිදී ඔහු තම පුතාට ආචාර කර වැළඳ ගැනීමේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එමෙන්ම නඩු තීන්දුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ අදහස් තිබුණා.

“මම ජනාධිපති, නමුත් මමත් තාත්තා කෙනෙක්. මගේ භාර්යාව සහ මම අපේ පුතාට ආදරෙයි…. අතීතය මොකක් වුණත් අද මගේ පුතා සිටින තැන ගැන අපට ආඩම්බරයි” යනුවෙන් එහි සටන කර තිබූ බව සඳහන්.

එමෙන්ම මෙම නඩුවේ ප්‍රතිඵලය පිළිගන්නා බවත් තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් සලකා බලන බැවින් අධිකරණ ක්‍රියාවලියට දිගටම තමන් ගරු කරන බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Share This