ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ලබන 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින්

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ලබන 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින්

අ.පො.ස. සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ලබන 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙනවා.

එමෙන්ම එක් එක් දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන දිනයන්, වේලාවන් සහ ස්ථානයන් මෙන්ම එම දිස්ත්‍රික්කයන් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ තෝරාගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවෙහි පළකිරීමට නියමිතයි.

එක් එක් දිස්ත්‍රික්ක සඳහා අ.පො.ස (උ/පෙළ) හදාරන සිසුන් වෙනුවෙන් ලබාදෙනු ලබන ශිෂ්‍යත්ව සඳහා තෝරාගන්නා ලද සිසුන්ගේ නාම ලේඛනය කලාප මට්ටමින් දැනටමත් ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ සඳහන් කර තිබෙනවා

අ.පො.ස. (උ/පෙළ) සිසුන් සඳහා මසකට ‍රු.6000 බැගින් මාස 24ක් සඳහා එක් අධ්‍යාපන කලාපයකින් සිසුන් 60 බැගින් තෝරාගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000 ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරෙනවා

මෙම සිසුන් සඳහා හිඟ වාරික මුදල්ද සමගින්‍ රු 30,000 ක ශිෂ්‍යත්ව ප්‍රදානයක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමටත්, ඊළඟ මස සිට අ.පො.ස. (උ.පෙළ) ‍විභාගය සඳහා පෙනී සිටින තෙක් මසකට ‍රු.6000 බැගින් ශිෂ්‍යත්ව ලබාදීමටත් කටයුතු කරනු ඇති

පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126 ම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට ‍රු.3000 බැගින් මාස 12ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන ද මේ යටතේ ක්‍රියාත්මකයි

ඒ අනුව තෝරාගන්නා ලද සිසුන් වෙනුවෙන් හිඟ වාරික මුදල් ද සමඟින්‍ රු 12,000 මුදලක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී පිරිනැමීමට කටයුතු කරන අතර, ඊළඟ මස සිට මසකට රු 3000 බැගින් ශිෂ්‍යාධාර ගෙවීමට කටයුතු කරනු ලබන බව සඳහන්

Share This