ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම අද සිට ඇරඹේ – කඩිනමින් අයදුම්පත් යොමු කරන ලෙස ඉල්ලීමක්

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම අද සිට ඇරඹේ – කඩිනමින් අයදුම්පත් යොමු කරන ලෙස ඉල්ලීමක්

අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ වනවා

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සහ ජූලි 15 වනදා සිදු කෙරෙන අතර, බදුල්ල, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල හෙට (13) දිනයේ ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අනිද්දා 14 දිනයේ ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජූලි 16 සහ 17 යන දිනයන්හිදී ද සිදු කෙරෙනවා

එමෙන්ම ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ජූලි 15 දිනද, වවුනියාව, මඩකලපුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ජුලි 16 දිනද, කලුතර, මන්නාරම, අම්පාර, කුරුණෑගල, මහනුවර, දිස්ත්‍රික්කවල ජුලි 17 වනදා ද ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරෙනවා

මීට අමතරව මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජුලි 18 වන දින ද, මොණරාගල, මාතර දිස්ත්‍රික්කවල ජූලි 19 දිනද, පුත්තලම දිස්ත්‍රික්කයේ ජූලි 22 දින ද ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කිරීමටයි නියමිතව ඇත්තේ

එමෙන්ම අයදුම්පත් ඉදිරිපත් නොකළ පාසල්වල විදුහල්පතිවරුන්හට අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබෙන අතර ශිෂ්‍යත්ව සඳහා අයදුම් නොකරන ලද පාසල් පිළිබද ලැයිස්තුවක් සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබා දී තිබෙනවා

ඒ අනුව යම් පාසලකින් ශිෂ්‍යත්ව සඳහා අයදුම්කර නොමැති නම් ඒ පිළිබඳව සොයා බලා අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපති අරමුදල ඉල්ලා සිටින්නේ

දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු දැන ගැනීම සඳහා ජනාධිපති අරමුදලේ facebook.com/president.fund යන නිල facebook පිටුව වෙත යොමු වන ලෙස ද ජනාධිපති අරමුදල වැඩිදුරටත් දැනුම් දෙනවා

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිළිබඳව වැඩිදුර තෙරතුරු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ලබාගත හැකි අතර එහිදී යම් ගැටලුවක් මතුවුවහොත් පමණක් 0112354354 – දිගු අංක 4835 ඔස්සේ සහ 0740854527 (Whatsapp පණිවිඩ පමණි) මඟින් ජනාධිපති අරමුදලේ නිලධාරින් සම්බන්ධ කර ගත හැකියි.

Share This