ජපානයේ පාසල් සිය ගණනකට බෝම්බ තර්ජන එවූ අයෙක් සොයා විමර්ශන ඇරඹෙයි

ජපානයේ පාසල් සිය ගණනකට බෝම්බ තර්ජන එවූ අයෙක් සොයා විමර්ශන ඇරඹෙයි

ජපානයේ පාසල් සිය ගණනකට බෝම්බ සහ මරණ තර්ජන එවූ පුද්ගලයෙකු සොයා ජපාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම තර්ජන ලැබී තිබෙන්නේ ටෝකියෝවේ ලියාපදිංචි අංකයකින් වන අතර මෙම සතිය මුලදී උසස් පාසල් සහ විශ්ව විද්‍යාල වෙත මෙම තර්ජන ෆැක්ස් මාර්ගයෙන් ලැබී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

පාසල් ගොඩනැගිලිවල කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් සොයාගෙන නොමැති අතර සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට පහරදීම් පිළිබඳවද මෙතෙක් වාර්තා වී නොමැති බවද එරට පොලිසිය සඳහන් කර තිබෙනවා.

පළමු තර්ජන පණිවිඩ රැල්ල පසුගිය සඳුදා දිනයේ ආරම්භ වූ අතර එය රට පුරා පාසල් සහ විශ්ව විද්‍යාල වෙත ලැබී තිබුණු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

සයිටාමා ප්‍රාන්තයේ පාසල් 170කට වැඩි ප්‍රමාණයකට බෝම්බ තර්ජන එල්ල වී ඇති බව නිලධාරීහු පවසා තිබෙනවා.

බෝම්බ 330කට අධික ප්‍රමාණයක් පිහිටුවා ඇති බවට එක් පණිවිඩයක සඳහන් වූ අතර තවත් පණිවිඩයක ‘ප්‍රධාන බෝම්බයක් තැබුවෙමි’ යනුවෙන් සඳහන් වී තිබුණු බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සමහර වාර්තා පවසන්නේ මෙම පණිවිඩ සඳහා යෙන් 300,000 සිට යෙන් මිලියන 3 දක්වා කප්පම් ඉල්ලා ඇති බවයි.

එමෙන්ම පසුගිය අඟහරුවාදා වනවිට ඔසාකා ඇතුළු විවිධ ප්‍රාන්තවල මෙන්ම ටෝකියෝවට ආසන්න සයිටමා සහ ඉබරාකි ඇතුළු විවිධ ප්‍රාන්තවල උසස් පාසල්වලට එම අංකයෙන් සිසුන් සහ ගුරුවරුන් ගෙදර හැදූ ආයුධවලින් මරා දමන බවට තර්ජනය කරන ලද පණිවිඩ ලැබී තිබුණු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තර්ජන හේතුවෙන් ජපානයේ බොහෝ පාසල් අද (26) වන විට නැවත විවෘත කර තිබුණද, පූර්වාරක්ෂාව ලෙස යළිත් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This