ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් -ජනපති
ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ නාමය අපකීර්තියට පත් කළ අවස්ථා තිබූ බවත් නව පත්වීම් ලබා ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ විදෙස් තානාපති සේවය සඳහා නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති සාකච්ඡාවකදීයි.
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සපයනු ලබන සේවාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙස එහිදී සඳහන් කළ ජනපතිවරයා එම රටවල සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී ඒ සඳහා මූලිකත්වය දෙමින් කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙස නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිටින මැද පෙරදිග, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවටද අදාළ සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තිබෙන අවස්ථා ප්‍රමාණය වැඩි කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ආයෝජකයන්ට නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීම රාජතාන්ත්‍රික සේවාව හරහා සිදුකළ හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා සෘජු විදේශ ආයෝජන කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදේශ තානාපති සේවය සඳහා තානාපතිවරු සිව් නෙකු සහ මහ කොමසාරිස්වරයෙකු පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
රාජ්‍ය තාන්ත්‍රික සේවයේ වසර විස්සකට වඩා පළපුරුද්ද හා අත්දැකීම් සහිත නිලධාරීන් පිරිසක් මෙලෙස නව රාජ්‍ය තාන්ත්‍රිකයින් ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුව,
කටාර් රාජ්‍යයේ තානාපති – ආර්.එස්.ඛාන් අසාඩ් මහතා
රුසියානු තානාපති – එස්.කේ. ගුණසේකර මහත්මිය
කුවේට් තානාපති – එල්.පී. රත්නායක මහතා
ඊජිප්තු තානාපති – ඒ.එස්.කේ. සෙනෙවිරත්න මහතා
නවසීලන්ත මහ කොමසාරිස් – ඩබ්ලිව් .ජී.එස්. ප්‍රසන්න මහතා
මෙලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.