ජීවිත හැර සියල්ල ගසාගෙන ගිය මනම්පිටියේ අසරණ යුවල

ජීවිත හැර සියල්ල ගසාගෙන ගිය මනම්පිටියේ අසරණ යුවල

තම පැල්පත ගංවතුරට සම්පූර්ණයෙන්ම විනාශ වීම හේතුවෙන් දින පහකට අධික කාලයක් පොළොන්නරුව මනම්පිටිය නගරයේ වෙළඳසල් ඉදිරිපිට සහ බස් නැවතුම්පොළවල රාත්‍රී කාලය ගත කරන වයෝවෘද්ධ අසරණ යුවලක් මනම්පිටිය නගරයේ දී අපට මුණැ ගැසුණා.

පොළවල්වල ලුණු ඇතුළු අනෙකුත් එළවළු සුද්ද පවිත්‍රකර උපයාගන්නා මුදලින් ජීවිතය ගැට ගසා ගත් මෙම යුවළ මනම්පිටිය සර්වෝදය ගම්මානයේ පදිංචි පී.ජි. සීතා කුමාරි සහ අජිත් පෙරේරා යි.

පසුගිය 27 වෙනිදා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මනම්පිටිය පල්ලිය අසල කුඩා පැල්පතක ජීවත් වූ මෙම යුවළගේ පැල්පත සම්පූර්ණ කැඩී විනාශ වු අතර ඔවුන් සතු වූ සියලු දෙය ගංවතුරට ගසාගෙන ගොස් තිබෙනවා.

මනම්පිටිය නගරයේ වෙළඳසැල් ඉදිරිපිට කුප්පි ලාම්පුවක් දල්වා රැය පහන් කරන මෙම යුවළට, සිටි දරුවා මීට වසර කිහිපයකට පෙර හදිසියේ මියගොස් ඇති අතර දැනට කිසිදු හව්හරණක් නොමැතිව පොළවලට ගොස් ලබාගන්නා සොච්චම් මුදලින් දිවි ගැටගසා ගනිමින් සිට ඇත්තේ.

ජාතික හැඳුනුම්පත, බැංකු පොත් රෙදි කැබලි කිහිපයක් හැරෙන්නට ඔවුන්ට වෙන කිසිවක් ඉතිරි වී නැහැ.

” අනේ මහත්තයෝ දැන් අපි දෙන්නට යන එනමන් නෑ. අපේ පැල්පත සම්පූර්ණයෙන් ගං වතුරට යට වී විනාශ වුණා. දැන් අපි දෙන්නා රාත්‍රී කාල‍ය ගත කරන්නේ කඩපිළිවල්වල. කවුරු හරි දෙන දෙයක් කාලා දවස ගෙවනවා. මම දැන් අවුරුදු හත අටක් තිස්සේ මනම්පිටියේ පදිංචියි. මමත් කැමතියි කවුරු හරි ගෙයක් දොරක් හදලා දෙනවනම් මේ ගංවතුර ගලන සීමාවෙන් එහාට යන්නට. ඉතින් අපිට ඒ සඳහා උදව් කරන්න. කොට්ට පැදුරු, හැලි වලං, මුළු සේසතම ගංවතුරට ගසා ගෙන ගියා. දැන් මට ඉතිරි වෙලා තියෙන්නෙ ඇඳිවත පමණයි. හැදුනුම්පතයි, බැංකු පොතයි බේරගත්තා. මම පොළවල්වලට ගිහිල්ලා ලූනු, අල සුද්ද කරලා දවසකට රුපියල් 800 ක් විතර හොයා ගත්තා. ඒ මුදලින් තමයි අපි දෙන්නා මෙතෙක් කල් ජීවත් වුණේ. දැන් අපි මහමගට වැටිලා ජීවිතය ගත කරනවා.” යැයි 56 වියති පී.ජී.සීතා කුමාරි  හැඬූ කඳුළින් සඳහන් කළා.

 

 

 

 

Share This