
ජූලි 08 සහ 09 සේවයට වාර්තා කළ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් වැඩි වෙයි
ජූලි 08 සහ 09 යන දෙදින සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමට සහ ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයට අයත් නොවන ඇතැම් සේවාවන්වල වෘත්තීය සමිති කිහිපයක් විසින් ජූලි මස 08 හා 09 දෙදින අසනීප නිවාඩු දැමීමේ හා වැඩවර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
දැඩි අස්ථාවරත්වයකට මුහුණ පා තිබූ රට පසුගිය දෙවසර තුළ රජය ක්‍රියාත්මක කරන ලද පුළුල් අර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මඟින් යම් ස්ථාවරත්වයකට පත් කිරීමට හැකියාව ලැබුණු අතර ජනතාවට ලබා දුන් සහනවලට අමතරව සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක මාසික දීමනාවක් ලබාදීමට ද රජය කටයුතු කරනු ලැබූ බව සඳහන්.
පවතින මූල්‍ය තත්ත්වය යටතේ, ජනතාව පිට අමතර බදු බරක් පැටවීමෙන් තොරව මෙම අවස්ථාවේදී අමතර වැටුප් හෝ දීමනා වැඩිවීමක් සමස්ත රාජ්‍ය සේවය වෙත ලබාදීමට කිසිදු හැකියාවක් නොමැති බව මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද දන්වා තිබූ අතර පසුගිය වකවානුව තුළ දැඩි ආර්ථික පීඩනයකින් සිටි ජනතාවට තවදුරටත් පීඩනයක් ඇති වන අයුරින් තීරණ ගැනීමට රජයට කිසිඳු හැකියාවක් නොමැති බවත්, අනෙක් අතට ඇතැම් රාජ්‍ය සේවකයින් විසින් අමතර වැටුප් හා දීමනා ඉල්ලීම් ඉදිරිපත් කරමින් සමස්ත මහජනතාව තවදුරටත් අපහසුතාවට පත් කිරීම ද කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වාදෙනවා.
කෙසේවුවද, මෙලෙස අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවී ජූලි මස 08 හා 09 දෙදිනම සේවයට වාර්තා කරන ලද විධායක සේවා ගණයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ ඇගයීමක් සිදු කිරීම රජයේ වගකීමක් ලෙස හඳුනාගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.