ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (02) ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නිරීක්ෂණයක නිරත වුණා.

නවීන ශික්ෂණ රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල අනාගත වෛද්‍ය වෘත්තිකයන් ද පුහුණු කරමින් සුවිශේෂී රෝගී සත්කාර සේවාවන් සපයනු ලබන රෝහලක් වනවා.

එම රෝහල මගින් ලබාදෙනු ලබන සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වයත්, මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීම මෙන්ම ඒ සම්බන්ධව පවතින ගැටළු සොයාබැලීමට සහ රෝහලේ ඉදිරි දැක්ම සහ අරමුණු යථාර්ථවත් කිරීම උදෙසා අදහස් හා යෝජනා සාකච්ඡා කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මෙම විශේෂ නිරීක්ෂණයේ අරමුණ වී තිබෙනවා.

ඒ අනුව රෝහලේ නවීන තාක්ෂණික උපකරණවලින් යුත් දන්ත වෛද්‍ය අංශය, පිළිකා රෝග අංශය, රසායන ව්‍යාධිවේදී අංශය, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකකය, රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය, හෘද උරස් හා දැඩි සත්කාර ඒකකය, රසායනාගාර, කිමෝ තෙරපි ඒකකය සහ නේවාසික රෝගී වාට්ටු මෙන්ම රෝහල සතු වෙනත් පහසුකම් ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සිය නිරීක්ෂණයට ලක් කර තිබෙනවා.

රෝහල් පාලනාධිකාරිය සමග රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වයත්, පවතින ගැටළු සහ ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳවත් විශේෂ සාකච්ඡාවක ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිරතව තිබෙනවා.

එම සාකච්ඡාවේ දී හෘද උරස් ඒකකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල අතර අවබෝධතා ගිවිසුම ගැන අවධානය යොමුකර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අවබෝධතා ගිවිසුමක් ඇති කර ගනිමින් රජයේ රෝහල් වෙත කැත් රසායානාගාර පහසුකම් ව්‍යාප්ත කිරීමේ ඇති හැකියාව පිළිබදවත් මෙහිදී අවධානයට ලක් වූ කරුණ අතර ප්‍රධානයි.

පූර්ණ කාලීන උපදේශක විකිරණවේදියෙකුගේ අවශ්‍යතාව, ස්වස්ථා පද්ධතියට පූර්ණ ප්‍රවේශය, රෝහල් පරිශ්‍රයට ඔසුසලක අවශ්‍යතාවය, ඖෂධ, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් තුළින් ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍යතාවයන් ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

 

Share This