ට්‍රම්ප්ගේ සංචාරක තහනම් ලැයිස්තුව අතරට එක්වූ අලුත්ම රටවල්

ට්‍රම්ප්ගේ සංචාරක තහනම් ලැයිස්තුව අතරට එක්වූ අලුත්ම රටවල්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරක තහනම් ලැයිස්තුවේ රටවල් 41 අතරට පාකිස්ථානය සහ භූතානය ඇතුළත් වී තිබෙනවා.

ජාතික ආරක්ෂක තර්ජන හඳුනා ගැනීම සඳහා අමෙරිකාවට ඇතුළුවීමට අපේක්ෂා කරන ඕනෑම විදේශිකයෙකුගේ ආරක්ෂක පරීක්ෂාව දැඩි කරන ලෙස ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කළ බව සඳහන්.

මේ සම්බන්ධයෙන් නව තහනමක කොටසක් ලෙස රටවල් කිහිපයක පුරවැසියන් සඳහා පුළුල් සංචාරක සීමාවන් පැනවීමට ට්‍රම්ප් පරිපාලනය සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රටවල් 41ක් වෙනම කණ්ඩායම් තුනකට බෙදා ඇති අතර, පළමු කණ්ඩායමට ඇෆ්ගනිස්ථානය, ඉරානය, සිරියාව, කියුබාව සහ උතුරු කොරියාව ඇතුළු රටවල් 10ක් ඇතුළත් වන අතර, ඔවුන්ට සම්පූර්ණ වීසා අත්හිටුවීමක් නියම කර තිබෙනවා.

දෙවන කාණ්ඩයේ, එරිත්‍රියාව, හයිටි, ලාඕසය, මියන්මාරය සහ දකුණු සුඩානය ඇතුළු රටවල් පහකට අර්ධ වශයෙන් අත්හිටුවීම් සිදුකර ඇති අතර එය සංචාරක සහ ශිෂ්‍ය වීසා බලපත්‍ර මෙන්ම අනෙකුත් සංක්‍රමණික වීසා බලපත්‍රවලටද බලපානු ඇති.

තුන්වන කාණ්ඩයේ, පාකිස්ථානය, භූතානය සහ මියන්මාරය ඇතුළු රටවල් 26 ක්, ඇතුළත් වී ඇති අතර එරට රජයන් දින 60 ක් ඇතුළත අඩුපාඩු සපුරාලීමට උත්සාහ නොකරන්නේ නම් අමෙරිකානු වීසා නිකුත් කිරීම අර්ධ වශයෙන් අත්හිටුවීම සඳහා සලකා බලනු ඇති බව සඳහන්.

Share This