
ඩයනාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ගොනු කරනු ලැබු නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුලි 31 වැනිදා ආරම්භ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවල මහතා දින නියම කර තිබෙනවා.
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව රැඳී සිටිම සම්බන්ධයෙන් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අදාළ නඩුව පවරා තිබුණා.
මෙම සැකකාරියට එරෙහිව ආගමන විගමන පනත ප්‍රකාරව චෝදනා 06ක් යටතේ නඩු 06ක් ගොනු කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබාදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් මහතා අධිකරණයට දැනුම්දුන්නා.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම සිද්ධියට අදාළව ඇප මත සිටිමින් ඊයේ (24) අධිකරණය හමුවේ පෙනී සිටියා.
නඩුව ඊයේ (24) කැඳවනු ලැබු අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රාජකාරී නිවාඩු ලබාගෙන තිබීම හේතුවෙන් ඊයේ ආරම්භ කිරීමට නියමිතව තිබු නඩු විභාගය ලබන ජුලි 31 වැනි දින සිදු කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පැමිණිල්ලට දැනුම් දී ඇති බව සඳහන්.
2016 වසරේ ජූලි මස 14 වැනි දින හා 2017 වසරේ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බලපත්‍රයක් නැතිව රැඳී සිටීම සැකකාරියට එරෙහි පළමු චෝදනාව ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
සැකකාරියගේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එය අධිකරණ සේප්පුවේ තැබීමට මුල් අවස්ථාවේ දී නඩුව කැඳවනු ලැබු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අධිකරණ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරනු ලැබුවා.
ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ චෝදනා 6කින් යුත් පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති බව සඳහන්.