ඩිජිටල් කුසලතාවයෙන් ව්‍යවසායිකාවන් ශක්තිමත්කරන්න අලුත් වැඩක්

ඩිජිටල් කුසලතාවයෙන් ව්‍යවසායිකාවන් ශක්තිමත්කරන්න අලුත් වැඩක්

දකුණු ආසියාතික සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන්ගේ ඩිජිටල් හා මාර්ගගත ව්‍යාපාර කුසලතා ශක්තිමත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන තෙදින වැඩමුළුවක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වුණා.

මෙම වැඩසටහන එක්සත් ජාතීන්ගේ ආසියා හා ශාන්තිකර කලාපයේ ආර්ථික හා සමාජයීය කොමිසම (UNESCAP) සහ වෙළෙඳ අමත්‍යංශයේ වාණිජ දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබයි.

වැඩමුළුවෙහි සමාරම්භක උත්සවයේදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය සිදු කල අතර, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රෙ ෆ්‍රාන්ෂ් (Marc Andre Franche) මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිරරාජා මහතා, UNESCAP දකුණු ආසියා සහ දකුණු-බටහිර ආසියා කාර්යාල ප්‍රධානී මිකිකෝ ටනාකා (Mikiko Tanaka) මහත්මිය, ආසියා සහ පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ (APCICT/UNESCAP) අධ්‍යක්ෂක කියොං කෝ (Kiyoung Ko) මහතා, වෙළෙඳ අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තු වාණිජ අධ්‍යක්ෂ ජෙනරාල් අමීනා මොහින් මහත්මිය, තිරසාර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජීවන්ති සේනානයක මහත්මිය ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්වුණා.

වර්තමාන ව්‍යාපාරික පරිසරයේ ඩිජිටල් කුසලතා ඇති සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යාපාරිකයින් බලගැන්වීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම මෙහිදී අදහස් දක්වමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඩිජිටල් මෙවලම්, විද්‍යුත් වාණිජ්‍ය ප්‍රවේශයන් සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නව තාක්ෂණයන් ලබා ගැනීමෙන් තරඟකාරීත්වය ශක්තිමත් කළ හැකි කාන්තා නායකත්වයෙන් යුත් ව්‍යාපාර, ජාතික හා කලාපීය වර්ධනය සඳහා දායක විය හැකි ආකාරය ගැන එහිදී අමාත්‍යවරයා කාගෙත් අවධානයට යොමුකළා.

දකුණු ආසියාතික රටවල් නියෝජනය කරමින් සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් 80 ක පමණ පිරිසක් මේ සඳහා සහභාගී වන අතර, ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනයට සහ ආර්ථික අවස්ථා පුළුල් කිරීමට අවස්ථා හිමිකරදීම මෙම වැඩසටහනෙන් අපේක්ෂා කරනු ලබනවා.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.

  

Share This