ඩුබායි සිට මෙහෙය වූ ඊසි කෑෂ් හෙරොයින් ජාවාරමෙක් කළුතර දී අල්ලයි

ඩුබායි සිට මෙහෙය වූ ඊසි කෑෂ් හෙරොයින් ජාවාරමෙක් කළුතර දී අල්ලයි

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට කළුතර හා අවට ප්‍රදේශ රැසකටම ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම මෙහෙයවන ප්‍රධාන සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකුගේ ප්‍රධාන ගෝලයෙකු කළුතර අපරාධ කොට්ඨාශය මගින් ලක්ෂ 15 කට පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධ බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මතයි.

කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ රැසකට සහ පුද්ගල පහරදීම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මේ වන විට ඩුබායි රාජයේ සැඟව සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකුගේ ගෝලයෙකු ත්‍රීවිල් රථයක් යොදාගෙන ඊසි කෑෂ් ක්‍රමයට කළුතර, මතුගම ,පානදුර ,පයාගල, බේරුවල, මතුගම ආදි ප්‍රදේශ රැසකටම තොග වශයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය කලක පටන් බෙදා හැරීම සිදුකර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට ලද තොරතුරක් මත ඊයේ (09) සවස සිදු කළ වැටලීමකදී මෙම සැකකරු කළුතර , පළාතොට ප්‍රදේශයේදී ඔහු ගමන් ගන්නා ත්‍රීරෝද රථය හඳුනාගෙන පොලිස් මාර්ග බාධකයක් යොදා නවතා සැකකරු පරීක්ෂා කිරීමේදී ලක්ෂ පහළොවක් පමණ වටිනා හෙරොයින් තොගයක් පොලිස් භාරයට ගත් බව‍යි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මෙහෙයවා ඇති බවට සැකකරුගෙන් කළුතර අපරාධ කොට්ඨාසය සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 41 වියැති කළුතර පළාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

Share This