ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවත් අතරමග !
“චීන ණය උගුල” සම්පූර්ණයෙන්ම පදනම් විරහිත කටකතාවක් බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි ප්‍රකාශ කර තිබෙනවා.
එසේම ඇතැම් රටවල් විසින් නිර්මාණය කර ව්‍යාප්ත කරන “චීන ණය උගුල” පිළිබඳ ආඛ්‍යානය සංවර්ධනය වෙමින් පවතින රටවලට අටවා ඇති ‘ඌන සංවර්ධිත උගුලක්’ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමතිවරයා මෙලෙස අදහස් ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිටත් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77වැනි සැසිවාරය අතරතුර චීන විදේශ ඇමැති වැන්ග් යී සමග පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාව අතරතුරදීයි.
චීන රජය සිය භූ-දේශපාලනික අරමුණු සඳහා කුඩා රටවල ණය බර ප්‍රයෝජනයට ගන්නා ආකාරය විස්තර කිරීම සඳහා ඇතැම් බටහිර රටවල් මෙම සංකල්පයෙන් සිදුකරන අතර ආර්ථික හෝ දේශපාලන සහන ලබා ගැනීමේ අරමුණින් තවදුරටත් ණය ලබාදෙමින් කටයුතු කිරීම මෙමගින් පැහැදිලි කර තිබෙනවා.
මෙවැනි සංකල්පයක් ‘මිත්‍යාවක්’ බව හුවාදක්වමින් ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා චීනයේ මිත්රභාවයේ වැදගත්කම අවධාරණය කර තිබුණා.
පසුගිය සිකුරාදා(23) ශ්‍රී ලංකා රජය, එනම් මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය එකාබද්ධව සිය ණයහිමි පාර්ශව වෙනුවෙන් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකළ අතර එහි අන්තර්ගතය වූයේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පෙර, ශ්‍රී ලංකාව විසින් ඒ වෙනුවෙන් සම්පාදනය කර ඇති මාර්ග සිතියම හෙවත් එම වැඩසටහන ක්‍රියාවට නංවන සැලසුම හඳුන්වාදීමයි.
එම වැඩසටහන මේ වන විට මුදල් අමාත්‍යංශ වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. එහිදී පළමුවරට ශ්‍රී ලංකාව විසින් සිය ද්විපාර්ශ්වික ණයහිමියන් ලවා මේ මොහොතේ ප්‍රතිව්‍යුහගත කරගතයුතු ණය ප්‍රමාණය අනාවරණය කර තිබෙනවා.
එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 13.8කි. එම සමස්ත ණය ප්‍රමාණයෙන් 52%ක දැවැන්ත කොටසක් චීනයට අයත්වනවා.
ශ්‍රී ලංකාව විසින් IMF ණය වැඩසටහන ක්‍රියාත්මක කරවා ගැන්මට නම් පළමුවෙන්ම කළයුතුව ඇත්තේ චීනයෙන් ලබාදී ඇති මෙම දැවැන්ත 52%ක ණය කන්ද ප්‍රතිව්‍යුහගතකරණය කරවා ගැනීමය.
අනෙක් කවර පාර්ශ්වයක ණය වෙනුවෙන් සහතික ලබාගත්තද ශ්‍රී ලංකාවට ඉන් විශාල ප්‍රයෝජනයක් නැත. චීනය එකඟකරවා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුවහොත්, ඒ වනවිට, ඒ වෙනුවෙන් කැපකර තිබෙන වෙනත් අන්තර්ජාතික සබඳතා ප්‍රමාණයද කොපමණ වේදැයි සිතිය නොහැකියි.මේ මොහොතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ සිටින්නේ විදේශ කටයුතු ඇමතිවරයායි. ජනාධිපතිවරයාට එක්සත් ජාතින් ඇමතීම පසෙක තබා ජපානයට යෑමට සිදුව ඇත්තේ ජපානය හරහා කෙසේහෝ ශ්‍රී ලංකාව වෙනුවෙන්වූ ‘ණය සමුළුවකට’ කැඳවා ගැනීම සඳහායි.
ඒ අනුව චීනයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරවා ගැනීම ශ්‍රී ලංකාවට වැදගත්ය.එහෙත් මෙම කුමන ප්රයත්නයන් හමුවේ වුවද චීනය මෙතෙක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත පළකර නැත. සිදුවිට යුත්තේ කඩිනමින් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත පළකර මෙම අර්බුදය විසඳා ගැනීමට සහාය දැක්වීමයි.
මේ වන විටත් ලොව රටවල් කිහිපයකටම ලබාදී ඇති සිය ණය චීනය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත පළකර ඇති අතර අප්‍රිකානු රටවල් 17ක් සඳහා දී ඇති ණය 23ක් අවලංගු කරන බව නිවේදනය කළේ පසුගිය මාසය අවසානයේදියි.
විශේෂයෙන් චීන අපනයන ආනයන බැංකුවෙන් සහ චීනයේ කාර්මික වාණිජ බැංකුවෙන් සැම්බියාවට දී ඇති ඩොලර් බිලියන 1.6 ක ණයක් අවලංගු කර ඇති බව චීනය ප්‍රකාශ කර තිබෙනවා. මීට සමගාමීව, මේ මස මුලදී, පාකිස්ථානයේ ආණ්ඩුව, චීන ව්‍යාපෘති සඳහා ගෙවිය යුතු ගෙවීම් අඩු කරන බවට හෝ චීන බලශක්ති නිෂ්පාදකයින්ට ගෙවිය යුතු ඩොලර් බිලියන 1.09කට වඩා වැඩි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සාහ කරන බවට IMF වෙත සහතික වුණා. ඉක්වදෝර රජය පසුගිය සතියේ කියා සිටියේ තමන් පිළිවෙළින් ගෙන ඇති ඩොලර් බිලියන 1.4 ක් සහ ඩොලර් බිලියන 1.8ක් වටිනා ණය ප්‍රතිවුහගතකරණය කිරීමට චීන සංවර්ධන බැංකුව සහ චීනයේ අපනයන-ආනයන බැංකුව සමග ගිවිසුම්වලට එළැඹුණු බවයි. ඒ අනුව පැහැදිලිවම පෙනීයන්නේ චීනයට මෙම ණය පිලිබඳ ගැටලුව ලොව සෑම තැනකදීම එකම ආකාරයෙන් නොපවතින බවයි.
එමනිසා ශ්‍රී ලංකාව IMF වැඩසටහනේදී චීනය පිලිබඳ සාධකය කළමනාකරණය ඉතාම සුක්ෂම ලෙස සිදුකළ යුතුව ඇති බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.