
තංගල්ල මුහුදේ දී අතුරු දන් ධීවරයින් දෙදෙනා සොයා නාවික මෙහෙයුම්
ධීවර කටයුතු නිමවා ආපසු පැමිණෙමින් සිටි IMULA0486TLE බහුදින ධීවර යාත්‍රාවක්, අද(29) තංගල්ල ධීවර වරායේ සිට නාවික සැතපුම් භාගයක් පමණ දුරින් පිහිටි ගලක ගැටී අනතුරට ලක් වුණා.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පැව්සුවේ මෙම සිදුවීමෙන් යාත්‍රාවට හානි සිදුව ඇති අතර, එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.
අනතුරින් අතුරුදහන් වූ ධීවරයින් දෙදෙනා වන්නේ එස්. එච්. චමින්ද රුවන් ජනක සහ ජේ. ඒ. චමිල් මධුවන්ත යන අයයි. මේ වන තෙක් ඔවුන් පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැහැ.
අතුරුදහන් වූ ධීවරයින් දෙදෙනා සෙවීමට සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා බීච්ක්‍රාෆ්ට් යානයක් යොදවා ඇති ගුවන් හමුදා මාධ්‍ය අංශය පැවසුවා.
ඊට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් මගින් ද සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙනවා.
යාත්‍රාවේ සිටි තවත් ධීවරයින් සිව් දෙනෙකු ඩිංගි යාත්‍රාවක් ආධාරයෙන් කඩිනමින් බේරාගෙන ප්‍රතිකාර සඳහා තංගල්ල මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔවුන්ගේ තත්ත්වය යහපත් බව වාර්තා වුණා.
අනතුරට පත් වූ ධීවර යාත්‍රාව මේ වන විට තවත් ධීවර යාත්‍රාවක් ආධාරයෙන් ධීවර වරාය වෙත ඇදගෙන එමින් තිබෙනවා.