
තංගල්ල සීනිමෝදර කුඩු ජාවාරමේ තවත් පිරිසක් පසුපස පොලීසිය පන්නයි
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝ 700 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම ස්ථානයේ සිටි පොල්කුඩ්ඩා නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පළාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති අතර අදාළ ස්ථානයේ මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනොගේ සහ රෝහලේදී මියගිය පුද්ගලයාගේ මරණවලට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් ලොරි රථ තුනෙහි හිමිකරුවන් සහ කොමඩු ලොරියේ රියදුරු සහ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබුණා.
ඉන් කොමඩු ලොරියේ රියදුරිගෙන් සහ එක් ලොරි රථයක හිමිකරුවකු බව කියන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගෙන් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා.
මේ අතර මියගිය පුද්ගලයින් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු ඊයේ පස්වරුවේ තංගල්ල මූලික රෝහලේදී සිදු කෙරුණු අතර එහිදී විවෘත තීන්දුවක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී මූලික වශයෙන් අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයින් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවටයි.
එය ඔවුන් තිදෙනාගේ මුත්‍රා සාම්පල් පරීක්‍ෂා කිරීමේදී තහවුරු වූ බව තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් මරණවලට නිශ්චිත හේතුවක් මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවයි තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
ඒ අනුව අදාළ පුද්ගලයින් තිදෙනාගේ ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කර ඇති අතර පටක කොටස් කිහිපයක් තම ඒකකය මඟින් පරීක්‍ෂාවට ලක් කළ බවද තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළා.
මේ අතර අයිස් නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවූ සම්පත් මනම්පේරි නමැත්තා ලබන 26 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ අදාළ සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය එකී නියෝගය නිකුත් කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
අදාළ සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස නිලධාරින් විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධි විධාන පනත යටතේ සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසයි.
කෙසේ වෙතත් ඊට අදාළ ප්‍රමාණවත් කරුණු විමර්ශන නිලධාරීන් විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් නොකිරීම මත සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මේ අතර මත්ද්‍රව්‍යවලට එරෙහිව ඊයේ පස්වරුවේ තංගල්ල නගරයේදී විරෝධතාවක්ද පැවැත්වුණා.
