තරුණයන්ට දෙන රජයේ ඉඩම් ගැන ඔබ දැනුවත් ද ?

තරුණයන්ට දෙන රජයේ ඉඩම් ගැන ඔබ දැනුවත් ද ?

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ අද (30) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදී යි.

පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග කර ඇති සාකච්ඡා සාර්ථක වී ඇති බවත් එම නිසා පොහොර හිඟය හෝ වෙනයම් හේතුවක් පාදක කරගනිමින් යල කන්නයේ වගාව අතනොහරින ලෙසත් ජනාධිපතිතුමා සියලුම ගොවීන්ගෙන් එහිදී ඉල්ලීමක් ද කර තිබෙනවා.

පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුව ඇතැයි ජනාධිපතිතුමා එහිදී පෙන්වා දී ඇති අතර ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබාදිය යුතු බව ද සඳහන් කර තිබුණා.

යල කන්නයේ වගාව සඳහා යොදා නොගත් කුඹුරු හඳුනාගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදිය හැකි අතර ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කන්දකාඩු ගොවිපොළ බඩඉරිඟු, සෝයා ඇතුළු භෝග වගාවට කඩිනමින් නිදහස් කර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කර තිබෙනවා.

වගා කර නොමැති ඉඩම්වලින් ඉහළ ප්‍රතිශතයක් රජය සතු වන අතර එම ඉඩම් හඳුනාගෙන තරුණ වගාකරුවන්ට ලබාදීමට ද මෙහිදී තීරණය කිරීම විශේෂත්වයක්.

ගෙවතු සහ රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල වගා කටයුතු දිරිමත් කළ යුතු බවත් ඊට ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ සිට සියලුම දෙනා සහයෝගය දිය යුතු බවත් අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී පෙන්වා දී තිබුණා.

පොහොර අවශ්‍යතාව ඉලක්ක කරගනිමින් එප්පාවල පොස්පේට් නිධිය ප්‍රශස්ත අයුරින් යොදාගනිමින් එළැඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොස්පරස් අඩංගු පොහොර නිෂ්පාදනය කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් එහිදී උපදෙස් දුන් බවයි වාර්තා වුණේ.

කිරි, බිත්තර, කුකුළු මස් මිල පාලනය සඳහා සත්ව ආහාර සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද පුළුල් ලෙස මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

 

 

 

Share This