
තරුණියකගේ නොසැලකිලිමත් රිය ධාවනයෙන් පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි වෙයි
පුත්තලම-පෑලියගොඩ ප්‍රධාන මාර්ගයේ මාරවිල රෝහල ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා.
මාරවිල රෝහල ආසන්නයේ රාජකාරියේ නිරතව සිටින අතරතුර එම පොලිස් කොස්තාපල්වරයා මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
හලාවත කොට්ඨාස රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ත්‍රිරෝද රථයක් නවත්වා මාර්ගය අයිනේ පරීක්ෂා කරමින් සිටින අවස්ථාවේ පුත්තලම දෙස සිට පැමිණි මෝටර් රථයක් නිලධාරීන් දෙදෙනා සහ ත්‍රිරෝද රථ රියදුරු යටකරගෙන ගොස් මීටර් 20ක් පමණ දුරින් පිහිටි විදුලි කණුවක ගැටී නතර වී තිබෙනවා.
තුවාලකරුවන් තිදෙනා මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ කුලියාපිටිය, හොරතපල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.
අනතුර සිදුකළ මෝටර් රථය 22 හැවිරිදි වියේ පසුවන තරුණියක විසින් පදවා ඇති අතර ඇයගේ මව සහ මිත්තණිය ද සුළු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සැකකාරිය මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.