
තරුණ ව්‍යාපාරය රටේ අනාගතය භාර ගන්නා නියමුවන් බිහි කරන ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා – ජනපති
නව දේශපාලන පරිවර්තනය සමඟ මෙරට තරුණ ව්‍යාපාරය තවදුරටත් දේශපාලන අතකොළුවක් බවට පත් නොවී, රටේ අනාගතය භාර ගැනීමට සිටින නියමුවන් බිහි කරන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (12) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති “Youth Club”ජාතික තරුණ සමුළුව අමතමින්.
තම දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමේ කොටස්කරුවන් ලෙස නොව, තරුණ පරපුරට හිමි තැන ලබා දෙමින්, සිය අනාගතය තීරණය කිරීමේ ශක්තිය ඇති තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව ජනාධිපතිවරයා එහිදී පැවසුවා.
ඔහු අවධාරණය කළේ තරුණ – තරුණියන් මෙරට සංවර්ධන මාවතේ නියමුවන් සහ කොටස්කරුවන් බවට පත් කෙරෙන වැඩසටහන තරුණ ව්‍යාපාරය මඟින් ආරම්භ කිරීමට සූදානම් බවයි.
අනාගත තරුණ පරපුර ලෝකය හමුවේ රට දිනවන සහ අනෙකා පිළිබඳ සහකම්පනයෙන් යුත් තරුණ පරපුරක් විය යුතු බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
අනාගත රට භාර ගැනීමට සුදුසුකම් සහිත එම තරුණ පරපුර නිර්මාණය කිරීමට රජය කැප වී සිටින බවත්, එම සුදුසුකම්ලාභීන් බවට පත්වන ලෙස මෙරට සමස්ත තරුණ පරපුරෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කළා.
මෙවර ජාතික තරුණ සමුළුව පැවැත්වුණේ වසර 32කට පසුව වීම විශේෂත්වයක්.
දිවයින පුරා තරුණ තරුණියන් 6000 කට අධික පිරිසක් ඊට එක්ව සිටියා.
ජාතික තරුණ සමුළුවට පෙර රට පුරා ප්‍රාදේශීය මට්ටමින් “Youth Club” පිහිටුවීම ආරම්භ කළ අතර, අද පැවති ජාතික සමුළුවේදී නව නිලධාරී මණ්ඩලය හඳුන්වා දීම සිදු කෙරුණා.