
ත්‍රස්ත විරෝධී පනතක් අත්‍යවශ්‍යයි – ඇමති හර්ෂණ නානායක්කාර
ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීමේදී ත්‍රස්ත විරෝධී පනතක් අත්‍යවශ්‍ය බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා
ජාතිවාදය ආගම්වාදය හෝ වෙනත් කරුණු හේතු කොට ගෙන මර්දනයට ත්‍රස්ත විරෝධී පනත සකස් කරන්නේ නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළා
ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම යටතේ විවිධ සංවිධාන සහ පුද්ගලයින් 240 ක එකමුතුව විසින් සකස් කර අත්සන් කරන ලද යෝජනාවලියක් අමාත්‍යවරයා වෙත භාර දුන් අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේ
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගෙන ඒමට පසුගිය ආණ්ඩු විසින් කමිටු ගණනාවක් පත් කර ඉදිරියට ගෙන ගොස් තිබුණද පනතක් සකස් කිරීමට පියවර ගෙන නොමැති බවත් ඔහු පැවසුවා
මේ පිළිබදව රජය විසින් කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවට අදහස් හා යෝජනා ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කළ බවත් නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගනිමින් වාර්තාවක් සකස් කරන බවත් අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළා.