ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ තාවකාලික ඉදිකිරීම් නතර කිරීමට අධිකරණ නියෝගයක්

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ තාවකාලික ඉදිකිරීම් නතර කිරීමට අධිකරණ නියෝගයක්

ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට අයත් තාවකාලික ඉදිකළ ගොඩනැගිල්ලේ දැනට කළ ඉදිකිරීම් ඒ ආකාරයෙන් තබන ලෙසත් නව ඉදිකිරීම් හෝ වෙනස්කම් නොකරන ලෙසත් ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එන්.එම්.සම්සූදීන් මහතා විහාරාධිකාරී හිමියන්ට අද (19) නියෝග කළා.

ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි ජේ.එල්. අජිත් කුමාර, වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ජී.එස්.කේ. සමරසිංහ යන මහත්වරු ඉදිරිපත් කළ බි වාර්තාව සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ත්‍රිකුණාමලය ඩච් බේ වෙරළ තීරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිකාරී හිමි තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලක් අනුව දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් පොලිසිය මෙම බී වාර්තාව ඉදිරිපත් කර තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා වරාය පොලිසියට නියෝග කළේ අදාළ ඉදිකිරීම් හා සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර අදාළ අධිකරණ නියෝගයේ පිටපත් රෝහල්ගත වී සිටින විහාරාධිකාරී හිමිට හා දායක සභාවේ ලේකම්වරයාට භාරදීමට පියවර ගෙන තිබුණා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ලේකම්වරයාගෙන් වාර්තාවක් ජනාධිපතිවරයා කැඳවා ඇති අතර සිද්ධිය වූ ස්ථානයට පැමිණි ත්‍රිකුණාමල පොලිස් අපරාධ පරීක්ෂණාගාරයේ පොලිස් කණ්ඩායමක් ආරක්ෂිත වැටක් කපා දැමීම සහ ඒ අවට විද්‍යාත්මක සාක්ෂි සටහන් කර ගැනීමට කටයුතු කළා.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.

Share This