තැන් හතරක සිටම ඉන්දියාවට බෝට්ටුවෙන්යාමට ඉඩ සැලසෙන ලකුණු

තැන් හතරක සිටම ඉන්දියාවට බෝට්ටුවෙන්යාමට ඉඩ සැලසෙන ලකුණු

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දීර්ඝ කාලයක සිට අත්හිටුවා තිබූ යාත්‍රා සේවාව යළි ආරම්භ කිරීමට මේ වනවිට සූදානමින් සිටිනවා.

කන්කසන්තුරේ – ශ්‍රී ලංකාව සහ කරෙයිකාල් – ඉන්දියාව අතර යාත්‍රා සේවාවක් මැයි 15 වැනිදා සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර මගියකුට කිලෝග්‍රෑම් 100ක බරින් යුත් ගමන් මලු රැගෙන යාමට ඉඩ සලසන අතරම එක් දිශාවකට වන ගමනක් සඳහා මගියෙකුගෙන් ඩොලර් 50ක් අය කරන බව ඉන්දීය මාධ්‍ය පවසා තිබෙනවා.

තොටුපළකින් වරකට මගීන් 150ක් රැගෙන යාමට බලාපොරොත්තු වන අතර පොන්ඩිචේරි හි කරයිකාල් වරායේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් කිරීමට පැය 4ක පමණ කාලයක් ගතවනු ඇති.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසන පරිදි කන්කසන්තුරේ වරායේ මගී පර්යන්තයක් ඉදිකරමින් මගී යාත්‍රා සේවයට පහසුකම් සැලසෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) හා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන සම්පූර්ණ ඉදිකිරීම් සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 144ක්.
මේ වන විටත් අදාළ ඉදිකිරීම් බොහෝ දුරට අවසන් කර තිබෙනවා.

විෂයභාර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පසුගිය මාර්තු 26 වැනිදා සාකච්ඡා කළ පරිදි, මගී යාත්‍රා සේවාව පහසු කිරීම සඳහා කන්කසන්තුරේ සහ කරෙයිකාල්හි ආගමන හා විගමන කාර්යාල දෙකක් බැගින් පිහිටුවනු ඇති.

දකුණු ඉන්දියාවේ තූත්තුකුඩි නගරය හා ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ යා කරන මගී යාත්‍රා සේවය ප්‍රථම වරට ආරම්භ කරන ලද්දේ 1914 දීයි. කෙසේ වෙතත්, උතුරේ යුද ගැටුම් උත්සන්න වීම හේතුවෙන් 1982 දී එය අත්හිටුවනු ලැබුවා.

උතුරේ යුද්ධය 2019 දී අවසන් වූ පසු, දෙරට අතර සමුද්‍රීය ප්‍රවාහන සේවය නැවත ආරම්භ කිරීමට උත්සාහයන් කිහිපයක්ම ගත් නමුත් එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.

ඒ අනුව වසර 40කට වැඩි කාලයකට පසු ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව යළි පුනර්ජීවනය කිරීමට දෙරටේ බලධාරීන් මෙන්ම ජනතාවද මහත් අපේක්ෂා සහගතව බලා සිටිනවා.

එසේ තිබියදී දෙරට අතර විවිධ වරායන් සම්බන්ධ කරමින් තවත් මගී යාත්‍රා සේවා දියත් කිරීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

වාර්තාවන්ට අනුව, තලෙයිමන්නාරම සහ කොළඹ සිට ඉන්දියාවේ තූත්තුකුඩිය දක්වා යාත්‍රා සේවා ආරම්භ කිරීමට බලධාරීන් සොයා බලමින් සිටිනවා.

තවද, කොළඹ – කොචින්, ත්‍රිකුණාමලය – චෙන්නායි, සහ ගාල්ල – කොචින් නව මගී යාත්‍රා සේවා සඳහා හැකි මාර්ග ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, තමිල්නාඩු මහාමාර්ග සහ කුඩා වරාය අමාත්‍ය ඊ.වී.වේලු පවසා ඇත්තේ තව මාස කිහිපයකින් රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර කෙටි යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව තමිල්නාඩු සමුද්‍රීය මණ්ඩලය විසින් ඊට අදාල සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් අනුමැතිය සඳහා මධ්‍යම රජය වෙත යවා තිබෙනවා.

ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ ආගමික ස්ථාන නැරඹීම සඳහා සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට පහසු ප්‍රවාහන පහසුකම් සැපයීමට අමතරව, ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියාවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටද මෙම මගී යාත්‍රා සේවාව උපකාර වනු ඇති.

එපමණක් නොව, ශ්‍රී ලංකාවේ බිඳ වැටුණු ආර්ථිකය පුනර්ජීවනය ලැබීමට ද මගී යාත්‍රා සේවය ප්‍රයෝජනවත් විය හැකියි.

විශේෂයෙන්ම ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා බැවින්, සංචාරක ව්‍යාපාරයේ උන්නතියට ද නව යාත්‍රා සේවය ප්‍රබල උත්ප්‍රේරකයක් වනු ඇති.

සංචාරක අත්දැකීම තවදුරටත් වැඩිදියුණු කළ හැකි හෝටල්, ආපනශාලා, සහ අනෙකුත් පහසුකම් වැනි ආධාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද මගී යාත්‍රා සේවයට අවස්ථාව සැලසිය හැකියි.

දෙරට අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීමේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවාව ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු නොඅනුමානයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටෙහිම බුදුදහම පිළිබඳ පොහොසත් ඉතිහාසයක් ඇති අතර, දෙරට අතර සංස්කෘතික හා ආගමික බැඳීම ශක්තිමත් කිරීමට තොටුපළ සේවාවට අවස්ථාවක් ලබා දිය හැකිය.

දෙරට අතර බෞද්ධ ස්ථාන පමණක් නොව හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමික ස්ථාන සම්බන්ධයෙන්ද ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙම යාත්‍රා සේවාව උපකාරී කර ගත හැකි වනු ඇති.

ආගමික උත්සව සහ සංස්කෘතික උත්සව සඳහා,මෙම ස්ථාන වෙත බැතිමතුන් සහ සහභාගිවන්නන් ප්‍රවාහනය කිරීමට මෙන්ම සංස්කෘතික හුවමාරුව සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමටද යාත්‍රා සේවාවට හැකියාව ලැබෙනවා.

ගුවන් යානයකට වඩා අඩු වියදමකින් ගමන් කළ හැකි අතර වැඩි භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි බැවින් ගමනාගමනයේ යෙදෙන මගීන්ට වඩාත් කාර්යක්ෂම සහ පහසු වැඩපිළිවෙළක් ලෙස මෙම සේවාව හඳුන්වා දිය හැකියි.

ශ්‍රී ලංකාවේ දකුණු ඉන්දියාව සහ යාපනය සම්බන්ධ කරන පැරණි යාත්‍රා සේවාව පුනර්ජීවනය කිරීම ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවල නව, වඩාත් ධනාත්මක සහ ඵලදායී පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන අතර එය ජාතීන් දෙක අතර ආර්ථික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම මගී යාත්‍රා සේවාව ස්ථාපිත කිරීම හරහා මගීන්ට පමණක් නොව දෙරට අතර සබඳතා ඒ ඒ ක්ෂේත්‍රවල පවත්වාගෙන යාමටද ඉවහල් වනවා.

සමුද්‍රීය ප්‍රවාහනය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිලාභ ලබා ගත හැකි දෙරට අතර සමීප සබඳතා ප්‍රවර්ධනය කරනවා. එය විවිධ ගැටළු, පාරිසරික ගැටළු සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ සංවාදය සහ සහයෝගීතාවය සඳහා වේදිකාවක් සපයනු ඇති.

මෙම සේවාව ආරම්භ කිරීමෙන් බොහෝ රැකියා අවස්ථා උදාවන අතර මෙම සේවාවෙන් ඔබ්බට සලකා බැලීමේදී දෙරට අතර පුද්ගලයින් සඳහා සෘජු හා වක්‍ර රැකියා අවස්ථා කිහිපයක් උත්පාදනය වීමට නියමිතයි.

එපමනක් නොව, මෙමගින් ඉන්දියාවට එහි ආරක්ෂක අවශ්‍යතා සඳහා වැදගත් වන ඉන්දියන් සාගරයට සෘජු සම්බන්ධයක් සපයනවා. අනෙක් අතට, කලාපයේ ආරක්ෂාව වැඩි කළ හැකි ඉන්දීය නාවික හමුදාවෙන් ශ්‍රී ලංකාවට ද මහත් ප්‍රතිලාභ ලබා ගත හැකි වනවා.

ඒ අනුව ලබන මසදී ඇරඹෙන ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය ඉදිරියේදී දෙරටටම වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති.

Share This