
තුසිත හල්ලොලුව ඉලක්ක කර එල්ල වූ වෙඩි තැබීම ගැන විමර්ශන CCDයට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.
තුසිත හල්ලොලුව මහතා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නාරහේන්පිට වටරවුම පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (17) රාත්‍රී කාලයේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදිකරුවන් දෙදෙනා අහසට වෙඩි තබා ඇති අතර මෝටර් රථය නතර කළ පසු ඉදිරිපස වීදුරුවට ද වෙඩි තබා ඇති බව වාර්තා වන්නේ.
එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ තුසිත හල්ලොලුව මහතාගේ නීතීඥවරයා සහ රියදුරු ද සිට ඇති අතර වෙඩික්කරුවන් විසින් ඔවුන්ට පහරදීමක් ද සිදුකර ඇති අතර පහරකෑමෙන් තුවාල ලැබූ තුසිත හල්ලොලුව මහතා සහ ඔහුගේ නීතීඥවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙඩික්කරුවන් විසින් තුසිත හල්ලොලුව මහතාගේ මෝටර් රථයේ තිබූ ලිපි ගොනුවක් ද රැගෙන පළාගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් තුසිත හල්ලොලුව මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබූ අතර ඊට අදාළව පසුගිය 15 වනදා තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ද ලබාදී තිබුණා.