තෙල් නොලැබුනොත් අදත් විදුලි කප්පාදුවක් (වීඩියෝ)

තෙල් නොලැබුනොත් අදත් විදුලි කප්පාදුවක් (වීඩියෝ)

බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නියමිත පරිදි නොලැබුණ හොත් සති අග දිනයක වුවත් අද (19) දිනයේදීත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

කැලණිතිස්ස චක්‍රීය බලාගාර සංකීර්ණ සහ සපුගස්කන්ද බලාගාරය සංකීර්ණය ඇතුළුව බලාගාර 07ක් ඉන්ධන නොමැති කමින් ඇණ හිටීමත් සමඟ විදුලි කප්පාදු කිරීම ඊයේ (18) දින සිට ආරම්භ කෙරුණා.

මෙගාවොට් 600 ක ජනන ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියෙන් ගිලිහීම නිසා මේ අර්බුදය නිර්මානය වූ බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

බලාගාර සඳහා අවශ්‍ය පරිදි ඉන්ධන නොලැබුණු හොත් සති අන්තයේ දිනයක් වුවද අද (19) පස්වරුවේ සිට විදුලි කප්පාදුව සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මැදිමත් වීම මගින් ඊයේ දින පෞද්ගලික සමාගමකින් රුපියල් මිලියන 250ක මුදලක් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබා ගත් බව මහාජන උපයෝගිතා කොමිසන් සභාව ප්‍රකාශ කළා.

අදාල ණය මුදල ලබන සඳුදා දින ලැබීමට නියමිත අතර, එම මුදලින් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට අපෙක්ෂා කරන බවද මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ ප්‍රකාශ කළා.

මේ අතර ඩීස්ල සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 70,000 ක් රැගත් ඉන්ධන නෞකා දෙකක් අද (19) සහ හෙට (20) දින මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළා.

අදාල නෞකා තුළින් බලාගාර සඳහා ඉන්ධන ලබා ගත්තද එම ඉන්ධන බලාගාර පර්යන්තය දක්වා රැගෙන යාමට පැය 10 පමණ කාලයක් ගතවන බවයි විදුලි ඉංජිනේරු සංගම් පවසන්නේ.

කෙසේ වෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ ඊයේ දින ප්‍රකාශ කළ පරිදි කාණ්ඩ 04ක් යටතේ පස්වරු 2.30 සිට රාත්‍රී 10.30 දක්වා අවස්ථා දෙකකදී විදුලි කප්පාදු සිදු කෙරුණා.

මේ අතර විදුලි ඉල්ලුම හා සැපයුම නිසායාකාරයෙන් කළමනාකරණයකර ගැනිමට විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා සභාව අපොහොසත් වීම හමුවේ මේ අර්බුදය නිර්මානය වී ඇති බවයි විදුලි තාක්ෂණික ඉංජිනේරු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති ඒ.ජී.යූ. නිශාන්ත මහතා ප්‍රකාශ කළේ.

Share This