
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන විවේක ගැනීමේ මධ්‍යස්ථානය උඩුකාව ප්‍රදේශයේ දී ආරම්භ කෙරේ
කොට්ටාව සිට මත්තල දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනා ගමනයේ යෙදෙන රියැදුරන්ට සහ මගී ජනතාවට විවේකය ලබා ගැනීම හා පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් මාතර, උඩුකාව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත විවේක ගැනීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ආරම්භ කළා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – ගොඩගම හා කොක්මාදූව අතර 119 වන කිලෝමීටරය ආසන්නයේ මෙම විවේක ගැනීමේ මධ්‍යස්ථානය ඉදි කෙරෙනවා.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 43 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, එක්වරකදී රථවාහන 30 ක පමණ සංඛ්‍යාවක් නතර කිරීමේ පහසුකම් ලබාගැනීමේ අවස්ථාව සැලසෙනවා.
දෙවන අදියර යටතේ සැලසුම් කර ඇත්තේ මෙහි ධාරිතාවය වැඩිකර සියලු පහසුකම් සහිතව අංග සම්පූර්ණ සේවා ප්‍රදේශයක් ලෙස වැඩිදියුණු කිරීමටයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනට පවතින්නේ වැලිපැන්න ප්‍රදේශයේ සේවා මධ්‍යස්ථානය පමණක් වන අතර, රියැදුරන් හා මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් ව්‍යාපෘතියක් ලෙස මෙම නව සේවා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
මාස 03 ක කාලයක් ඇතුලත මෙහි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිතයි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ පවසන්නේ කිලෝමීටර් 314 ක් වන අධිවේගී මාර්ග පද්ධතිය තුළ, මගීන්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් මෙවැනි විවේක ගැනීමේ මධ්‍යස්ථාන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බවයි.
