
දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති සහ එ. ජා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ජනපති මුණගැසේ
ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙලට සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසනවා.
ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජානධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි.
මේ අතර දිවයිනට පැමිණ සිටින දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා ද ඊයේ ජනාධිපතිවරයා හමුවුණා.
දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමා උනන්දු වූ බවත් මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.
සාමය හා සංහිඳියාව ළඟා කර ගැනීමේදී දෙරටටම එකම ආකාරයේ අභියෝග පවතින බවත් විවිධත්වයක් සහිත සියලු ජන කණ්ඩායම් එක මාවතකට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උගත් පාඩම් සහ අත්දැකීම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ බෙදා ගැනීමට තමා කැමති බවත් හිටපු ජනාධිපති ම්බෙකි මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ ජාතීන් අතර සමගිය වර්ධනය කිරීමටත් රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත් තමා ඇප කැපවී සිටින බවයි.
මේ අතර මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ද ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණා.
ජනාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් තිබෙන නව දේශපාලනික සහ සාමාජයීය පරිවර්තනය අගය කළ මහ කොමසාරිස්වරයා උතුරේ සහ දකුණේ සියලු ජනතාව වත්මන් ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බවයි.
තමා මෙරට සිදුකළ සංචාරයේදී ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින නව පරිවර්තනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකි වූ බව සඳහන් කළ වෝල්ටර් ටර්ක් මහතා අද රටේ සියලු ජනතාව යහපත් අනාගතයක් පිළිබඳ නව බලාපොරොත්තු තබා සිටින බව තමා විශ්වාස කරන බවද පවසා තිබෙනවා.
අතුරුදන් වූවන්ගේ ගැටලුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු ව ඇති අතර උතුරේ සහ දකුණේ අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන්ගේ වේදනාව එක හා සමාන බවත් ඔවුන් සියලු දෙනා රජය කෙරෙහි තබා ඇති බලාපොරොත්තු ඉටු වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල අපේක්ෂා කරන බවත් මහ කොමසාරිස්වරයා
වැඩිදුරටත් පවසා තිබෙනවා.