
දකුණු කොරියාවේ ගුවන් හමුදා පුහුණු අභ්‍යාසයක දී බෝම්බ හෙළීමෙන් සිවිල් වැසියන්ට තුවාල
දකුණු කොරියාවේ ගුවන් හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානයක් අහම්බෙන් බෝම්බ අටක් වැරදි ස්ථානයකට හෙළීමෙන් සිවිල් වැසියන්ට තුවාල සිදුව තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර තිදෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති බවයි
උතුරු කොරියාවේ දේශසීමාවට කිලෝමීටර් 25 ක් පමණ දකුණින් පිහිටි පොචියොන් හිදී මෙම පුහුණු අභ්‍යාසය සිදු කර තිබෙනවා
“සිවිල් වැසියන්ට හානි සිදු වූ බෝම්බ අනපේක්ෂිත ලෙස මුදා හැරීම ගැන අපි දැඩි ලෙස කනගාටු වන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු,” යනුවෙන් ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා
සිද්ධිය විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවා ඇති බවත්, “හානි සඳහා වන්දි ඇතුළුව අවශ්‍ය සියලු පියවර ගන්නා” බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා