දහම් ගුරුවරු වෙනුවෙන් රජය ගත් තීරණය

දහම් ගුරුවරු වෙනුවෙන් රජය ගත් තීරණය

දහම් පාසල් ගුරුවරුන් උදෙසා රජය විසින් දීමනාවන් රැසක් ලබාදීමට පියවර ගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

එහිදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ මෙරට සිටින දහම් පාසල් ගුරුවරු සංඛ්‍යාව 123,931ක් සිටින අතර ලියාපදිංචි දහම් පාසල් සංඛ්‍යාව 10,641ක් බවයි.

ඒ අනුව අධ්‍යාපන ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියා.

තවද දහම් පාසල් ගුරුවරුන් සඳහා ඉගැන්වීමේ කුසලතා වර්ධනය සහ ගුරු අභිමානී සම්පත් දායක පුහුණුව පැවැත්වීම මෙන්ම දහම් පාසල් ගුරුවරුන් දහම් දැනුම වර්ධනය කර ගැනීම සඳහා දහම් සරසවිය වැඩසටහන පැවැත්වීම, දහම් පාසල් ගුරුවරු සඳහා ගුරු විභාගය පැවැත්වීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරන බවයි අගමැතිවරිය සඳහන් කර සිටියේ.

එමෙන්ම දහම් පාසල් ගුරුභවතුන්ගේ ධර්ම ඥාණය වර්ධනය කිරීම උදෙසා වාර්ෂිකව පුස්තකාල දීමනාවක් සහ ගමන් වියදම් දීමනාවක්ද ලබාදීමට කටයුතු කරන බවද අගමැතිවරිය පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.

තවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ වසරක සේවා කාලයක් සපුරන ගුරු භවතුන්ට රුපියල් 5000ක් සහ වසර 03ක සේවා කාලයක් සපුරන ගුරු භවතුන් සඳහා රුපියල් 2500ක දහම් පාසල් නිල ඇඳුම් දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම පුස්තකාල හා ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 5000ක් සහ 2025 වර්ෂයේ සිට වසර 03ක සේවා කාලයක් සපුරන ගුරු භවතුන්ට නිල ඇඳුම් දීමනාව ලෙස රුපියල් 2500ක් ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන්.

දහම් පාසල් ගුරුවරුන් තම සේවය ස්වෙච්ඡාවෙන් සිදුකරනු ලබන බැවින් මෙය ගරු දීමනාවක් ලෙස සලකා එම ගරු කටයුත්තට අගයකිරීමක් ලෙස ලබාදෙන දීමනාවක් ලෙස මෙම සියල්ල ලබාදීමට පියවර ගෙන ඇති බවත් එය වැටුපක් ලෙස නොසිතන ලෙසයි අගමැතිවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Share This