දැවැන්ත විරෝධයකට මුහුණ දෙන්න ලැහැස්ති වෙන්න – ජවිපෙන් රජයට පණිවිඩයක්

දැවැන්ත විරෝධයකට මුහුණ දෙන්න ලැහැස්ති වෙන්න – ජවිපෙන් රජයට පණිවිඩයක්

ආණ්ඩුව ජනතාවට සහන නොදේ නම් දැවැන්ත විරෝධයකට සුදානම් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

වත්මන් අර්බුදයට පැලැස්තර විසඳුම් නැති බවත් මැජික්වලින් විසඳන්න බැරි බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රකාශය පහතින් දැක්වෙනවා.

“ආණ්ඩුවක් කළ යුතුව තියෙන්නේ වසංගත තත්වයක් තුළ ජනතාවට සහන දීමයි. නමුත් ආණ්ඩුව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දරාගන්න බැරි තරම් ඉහළ යන්න ඉඩ ඇර ලබා දී තිබෙනවා.

සාමාන්‍ය ජනතාවට ජීවත් වීමට ඉතාම අසීරු වෙලා. ඒ නිසා වහාම ජනතාවට සහන ලබාදිය යුතුයි කියලා බල කරන්න සිදුවෙනවා. කොරෝනා තත්වය නිසා ජනතාවගේ හඬ නගන්නවත් බැරිවෙලා තියෙන්නේ. සියලුම පීඩාවන් නිවාසවලට වෙලා දරාගන්න සිදුවී තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බලකර සිටිනවා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිල අඩු කරන්න කියලා. වර්තමාන ආණ්ඩුවබලය ගත්තේ සුරංගනා කතා ගොඩක් කියලයි. බඩුමිල අඩු කරන හැටි, මුදල් හොයන හැටි දන්නවා කියලා පම්පෝරි ගැහුවා.

නමුත් දැන් අත්‍යවශ්‍යම ද්‍රව්‍යවල මිල පාලනය කරන්නවත් මැදිහත් නොවෙනවා නම් ඒක මොන ආණ්ඩුවක්ද? ව්‍යාපාරිකයන්ට ලාභ ලබාදීම සඳහා කටයුතු කරනවා මිස පොදු ජනතාවට සහන ලබා දෙන්නේ නැහැ. මෙය ඉතාමත්ම අසාධාරණ තත්වයක්. කොරෝනා පිට දාලා ආණ්ඩුවට ගැලවෙන්න බැහැ. බඩු මිල ඉහළ යාම පාලනය නොකිරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි.

ජනතාවට පහසුකම් සලසනවා කියලා බලය ගත්තු ආණ්ඩුවේ බරත් ජනතාවට දරන්න වෙලා තියෙන්නේ. බඩු මිල වැඩි වෙන්නේ ඒ නිසා. අත්‍යවශ්‍ය ආහාරවල ඉඳලා සබන්, දත් බෙහෙත්, ඖෂධ හැම භාණ්ඩයකම මිල වැඩිවෙලා තියෙන්නේ. වැඩිවීමේ නතර වීමක් නැහැ. ආණ්ඩුව මැදිහත් වී කිසියම් පාලනයක් කළ යුත්තේ මේ නිසයි.

මිල පාලනය කරන්න හැකියාව තිබියෙදී පවා නොකර සිටීමෙන් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වී ඉන්නවා. ආණ්ඩුවට ඡන්දය දීපු අවංක බොහෝ දෙනා දැන් ආණ්ඩුව අත්හැරලා තියෙන්නේ. මේ සියලු දෙනාම එකතුවී ජනතාවට සහන ලබාදෙන්න කියලා හඬක් නැගිය යුතුව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීම වෙනුවෙන් හඬ නගන ලෙසයි. අපි ඒ වෙනුවෙන් ආණ්ඩුවට දිගටම බල කරමින් ඉන්නවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වහාම අඩු නොකරන්නේ නම් දැවැන්ත තමහජන විරෝධයකට මුහුණ දෙන්න සූදානම් විය යුතු වෙනවා. ආණ්ඩුවේ මුග්ධ, තකතීරු ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇතිවන අර්බුද ජනතාව මත පටවන්න එපා. කොවිඞ් හමුවේ කැපකිරීම් කරන්න පටන් ගන්න ඕනෑ ආණ්ඩුව ඇතුළෙන්මයි. නමුත් මහ බැංකුවේ අධිපතිකම කරන්න බලාගෙන ඉන්න ඇමතිවරයා තමන්ගේ විශ්‍රාම වැටුප රු. ලක්‍ෂ ගණනකින් ලබාගන්න කටයුතු කළා. ආණ්ඩුවේ පිඟන්වලට ඇති තරම් බෙදා ගනිමින් ජනතාවට කන් හැඳිවලින් බෙදනවා. කැපකිරීම් කරලා රට වෙනස් කරන්න නම් පාලකයෝ ඒ ආදර්ශය දෙන්න ඕනෑ. එහෙම නොකර ජනතාවට පටි තද කරගන්න කියන එකේ තේරුමක් නැහැ. ජනතාව හැම පැත්තකින්ම කැපකිරීම් කරමින් ඉන්නේ.

ඒ අතර අපි ජනතාවට අවධාරණය කරන්නේ දැන් තියෙන අර්බුදයට පැලැස්තර විසඳුම් නැති බවයි. මැජික්වලින් විසඳන්න බැරි බවයි. අපේ රටේ පවත්වාගෙන යන ආර්ථීක සහ දේශපාලන වැරදි ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෑ. ජාවාරම්කාර අතළොස්සක් මහජන මුදල් ගසාකන, ඒ සල්ලිවලින් ආණ්ඩුව යැපෙන සහ ආණ්ඩුවේ පිරිසක් යටිමඩි ගහගන්න කොල්ලකාරී ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න ඕනෑ.

ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ ප්‍රාජාතන්ත්‍රවාදීව, සාධාරණව බෙදාහරින ක්‍රමයක් ඕනෑ. ඒ වගේම මහජන සේවකයක් බවට පත් කරගත් දේශපාලන සංස්කෘතියක් ඕනෑ. ඒ හැර එක නායකයෙක් වෙනුවට තව නායකයෙක් ගෙන එන ක්‍රමය වෙනස් කර බරපතළ සමාජ ආර්ථික වෙනසක් සිදුකරන්න අධිෂ්ඨාන කරගත යුතු වෙනවා.

ඒ වටා එකතු වෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩවලට ජනතාවට සහන නොදේ නම් දැවැන්ත විරෝධයකට මුහුණ දෙන්න ලැහැස්ති වෙන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.”

Share This