දින 500ක් ගුහාවක ජීවත් වූ ක්‍රීඩිකාව (PHOTOS)

දින 500ක් ගුහාවක ජීවත් වූ ක්‍රීඩිකාව (PHOTOS)

දින 500ක කාලයක් ගුහාවක් තුළ හුදෙකලාව ජීවත් වෙමින් ස්පාඤ්ඤ ක්‍රීඩිකාවක් වාර්තාවක් තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඇය 2021 නොවැම්බර් මස 21 වනදා සිට ඊයේ (14) දිනය දක්වාම ගුහාව තුළ කාලය ගත කළ බවයි.

ස්පාඤ්ඤ ජාතික මලල ක්‍රීඩිකාවක් වන බියට්‍රිස් ෆ්ලැමිනි (Beatriz Flamini) නම් ඇය 50 හැවිරිදි වියේ පසු වන අතර වයස අවුරුදු 48 දී ගුහාවට ඇතුළු වී ඇති බව සඳහන්.

මීටර් 70ක් (අඩි 230) ගැඹුරු භූගත ගුහාවක ඇය මෙලෙස දින 500ක් ගත කර තිබුණේ ව්‍යායාම කරමින්, ලොම් තොප්පි අඳිමින් සහ ගෙතුමින් කාලය ගත කරමිනුයි.

ඇයට පිටතින් ආහාර ලබා දුන් අතර ගුහාව තුළදී පොත් 60 ක් සහ ජලය ලීටර් 1,000 ක් ලබා ගත් බවයි ඇයගේ සහායක කණ්ඩායමට ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව මනෝවිද්‍යාඥයින්, පර්යේෂකයන්, විශ්ලේෂකයින් ගුහා අධ්‍යයනයේ විශේෂඥයින් කණ්ඩායමක් විසින් ඇයව නිරීක්ෂණය කළ අතර ඔවුන් කිසවෙක් ඇය හා සම්බන්ධතා පවත්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එමෙන්ම ඇගේ සහායක කණ්ඩායම පැවසුවේ ඇය ගුහාවක දීර්ඝතම කාලයක් ගත කිරීම සඳහා ලෝක වාර්තාවක් බිඳ දැමූ නමුත් ගුහාවක ස්වේච්ඡාවෙන් ජීවත් වූ වාර්තාවක් තිබේද යන්න ගිනස් ලෝක වාර්තා විසින් තහවුරු කර නොමැති බවයි.

මේ අතර පොළොව යට සිරවී සිටි දීර්ඝතම කාලයක් ජීවත් වෙමින් ලෝක වාර්තාවක් තබා තිබුණේ 2010 වසරේදී යි.

ඒ චිලි රාජ්‍යයේ තඹ – රන් ආකරයක් කඩා වැටීමෙන් පසු දින 69 ක් පොළව යට මීටර් 688 ක් ගත කළ චිලී සහ බොලිවියානු පතල් කම්කරුවන් 33 දෙනෙකුයි එම වාර්තාව පිහිටුවා තිබුණේ.

Share This